ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ අරගලයේ බිහිසුණුතම නිමේෂය උදාවෙමින් තිබිණි. භීෂණය, ප්‍රචණ්ඩත්වය තිබුණේ දෝරගලන මට්ටමකය. ජවිපෙ සාමාජිකයන් වෙත මොහොතක් පාසා ලැබුණු පණිවුඩවලින් කියැවුණේ අද පක්ෂයේ අහවල් නායකයා අරගෙන, අහවලා මරලා දාලා වැනි ශෝකීය පුවත්ය. පක්ෂයේ පළමු පෙළ හා දෙවැනි පෙළ නායකයන් සෑහෙන පිරිසක් ඒ වනවිටත් පසුවූයේ හමුදා අත්අඩංගුවේය. පක්ෂයට අනාගතයක් නැතැයි යන අවිනිශ්චිත හැඟීමක් රතු සහෝදර සහෝදරියන්ගේ හිත් තුළ වේගයෙන් ජනිත වන්නට විය.

 


ඔය කාලේ වෙනකොට මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා. ඒ වැඩවලට සම්බන්ධ වෙලා ඉද්දි මගේ ගෙදරට අද එන නායකයො ආයෙ හෙට දකින්න හම්බ වෙන්නෙ නෑ. ගොඩක් නායකයො භීෂණයට අහුවුණා. විජේවීර, ගමනායක, හේරත්, ශාන්ත බණ්ඩාර, පියදාස රණසිංහ, මීරිගම ජයතිලක, චන්දරේ වනසිංහ මේ වගේ නායකයො අපේ පක්ෂයට අහිමි වුණා. මේ තත්ත්වය උඩ අපිවත් කොයි වෙලේ අල්ලගෙන යයිද කියන බය තිබුණා. තත්ත්වය ඔහොම තියෙද්දි 1992 අවුරුද්දෙ මාර්තු මාසෙ දවසක ගැමුණු පණිවිඩයක් අරගෙන මාව හම්බ වෙන්න ආවා. පක්ෂය විනාශයි. පක්ෂයට දැන් ඔළුවක් නෑ.

දෙවැනි පෙළ නායකත්වයත් ඝාතනය කරලා. ඒ නිසා සුනිල් සහෝදරයා රට යන්න, කියලා එයා මට කිව්වා. මට පස්සෙ දැන ගන්න ලැබුණා ගැමුණු, මාවයි බිරිඳවයි පාවාදීලා කියලා. ඒ නිසා මාර්තු මාසෙ හත් වැනිදා මාවයි බිරිඳවයි අත්අඩංගුවට පත්වුණා. මගේ බිරිඳව අල්ලගෙන තිබුණෙ කිරිල්ලවලදි. මාව ගත්තෙ වේයන්ගොඩදි.


රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීමේ චෝදනාව යටතේ හමුදා හෝ පොලිස් අත්අඩංගුවට පත් ජවිපෙ සාමාජිකයන් බොහෝ දෙනකුට මරණයෙන් මෙහා නිදහසක් නොතිබිණි. ඔවුන්ට මරණයත් නිදහසක් වූයේ හිරේ විලංගුවේ වැටී සිටියදී මුහුණ පාන්නට සිදුවූ අනේකවිධ කායික හිරිහැර නිසාය. ටුබැකෝ සුනිල් සහෝදරයාගේ ජීවිතයට ද එවැනි බියකරු නිමේෂයක් උදාවෙමින් තිබිණි.


“අපි දෙන්නව අත්අඩංගුවට ගත්තට පස්සෙ ඒ බියකරු දවස් ටික ගෙවා දැම්මෙ මරණය පෙනි පෙනී. මගේ ඇස් බැඳලා වධකාගාරයකට දැම්මා. දවස ගානේ අපිට ගගහා පක්ෂයේ සහෝදරයන් ගැන තොරතුරු අහනවා මට මතකයි. බිල්ලො ගෙනල්ලා පෙන්නලා පක්ෂය ගැනත් නායකයො ගැනත් අවි ආයුධ ගැනත් එක දිගට විස්තර ඇහුවා. ඔය වෙන කොට මාත් එක්ක පක්ෂයේ වැඩ කරපු ගොඩක් සහෝදරයො මරලා දාලා තිබුණෙ. බේරිලා හිටියෙ එක් කෙනෙක් දෙන්නෙක් විතරයි. ඒ අය ගැනත් මගෙන් විස්තර ඇහුවා. ඒත් මම ඒ එක දෙයක් ගැනවත් දන්නෙ නෑ කියලා කිව්වට පස්සෙ වධකාගාරේ හිටපු කට්ටිය “උඹේ කට අරින යතුර අපි ළඟ තියෙනවා” කියලා කිව්වා. එහෙම කියලා ඒ අය මං ඉස්සරහට ගැමුණුව ගෙනාවා. ගැමුණු එවෙලෙ මට කිව්වා පක්ෂය ගැන දන්න විස්තර සේරම කියන්න කියලා. මම එතනදි ගැමුණුව අඳුනන්නෙ නැති විදියට රඟපෑවා. ඇත්තටම මට එවෙලෙදි 71 අරගලයෙදියි 1987-89 අරගලයෙදියි පක්ෂය පාවා නොදී වීරත්වයෙන් මරණය වැලඳගත් අපේ සහෝදර සහෝදරියො සිහි වුණා.

මමත් එවෙලේ තීරණය කළා ඒ අය වගේම අපේ ව්‍යාපාරය වෙනුවෙන් මරණය තෝරා ගන්නවා කියලා. ඒ නිසා මම ඒ අය අහන කිසිදේකට උත්තර නොදී ඒවා නොදන්න ගානට රඟපෑවා. අන්තිමට කොහොම හරි එක දවසක් මහා රෑක මම ඇඳගෙන හිටපු සරම පිටින්ම වයර්වලින් අත් දෙක බැඳලා වාහනේක දාගෙන හැතැප්ම හතරක පහක දුරකින් මාව මහපාරට අතඇරලා දාලා ඒ ගොල්ලො ගියා. එතකොට වෙලාව පාන්දර තුනට විතර ඇති. මම කොහොම හරි මගෙ බිරිඳ හිටිය කිරිල්ලවලට ආවා. මම ආවට පස්සෙ අපි කුලියට හිටිය ගෙවල් ළඟ පදිංචිවෙලා හිටපු යුද හමුදාවේ වැඩ කරන කෙනෙක් මගෙ තැලුම් තුවාලවලට බෙහෙත් කරලා මට ෂර්ට් එකකුත් අන්දලා මගෙ මවුපියො ළඟට මාව එක්කරගෙන ගියා. මාව දැක්ක හැටියෙ මගෙ අම්මා මාව බදාගෙන හොඳටම ඇඬුවා.
තවත් කොටසක් ලබන සතියට.

උපුල් වික්‍රමසිංහ