පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්

රටේ දේශපාලනය යන්නේ කොහාටදැයි කාටවත් අයුරක් නැති ගානය එද වේල පිරිමසා ගැනීමේ ආර්ථිකයක් සමඟ ප‍්‍රශ්න කන්දක් රට තුළ ගොඩ ගැසෙමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. වඩාත් දුෂ්කර හා භයානක කාර්යය වන්නේ මේ එක ප‍්‍රශ්නයකටවත් පිළිතුරක් හරියට දන්නා කෙනකු ආණ්ඩුව පැත්තෙන් සොයා ගැනීමට නොහැකි වීම ය.

හම්බන්තොට වරාය චීනයට පවරා දෙන්නේ කුමන කොන්දේසිවලට යටත්වද කියා කවුරුවත් දන්නේ නැත. ඉට්කා ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න දන්නා කෙනෙකු  සොයා ගත නොහැකිය. සයිටම් එක දිගටම තියා ගන්නවාද නැතහොත් රජයට පවරා ගන්නවාද කියා කැබිනට් එකේ කවුරුවත් දන්නේ නැත. අලූත් ව්‍යවස්ථාවක් ගෙනෙනවාද නැතහොත්  තිබෙන ව්‍යවස්ථාවම සංශෝධනය කරනවාද යන්න දන්නේ දෙවියන් වහන්සේත් ජයම්පති වික‍්‍රමරත්නත් පමණක් ගානය.

පළාත් පාලන ජන්දය පැවැත්විය හැකි දිනය කවදාද  යන්න දන්නා කෙනෙක් මැතිවරණ කොමසාරිස්ගේ සිට මෙපිටට කොහේවත් නැත. කැබිනට් මණ්ඩලයේ අයගේ සිට සියලූ බලධාරීන් කරන්නේ මේ ප‍්‍රශ්නවලට පිළිතුරක් නොදෙනවා පමණක් නොව අප අහන ප‍්‍රශ්න නැවතත් අපෙන්ම අහමින් කාලය ගත කිරීම ය. හැන්දැවට ප‍්‍රවෘත්ති බලන විට දැනෙන්නේ ‘ආණ්ඩුව ප‍්‍රශ්න අහන අතර ජනතාව රට පාලනය කරනවා’ වැනි හැඟීමක් ය. බොහෝ  ඇමැතිවරුන්   කියන්නේ  ‘මෙහෙම වුණොත් හොඳයි’ හෝ ‘අරහෙම වුනොත් මෙහෙම වෙයි’ වගේ කථාය. මේ ආකාරයේ දේවල්වලට පාසලේ සිංහල ව්‍යාකරණ පන්තියේ කීවේ ‘අනියමාර්ථයේ අසම්භාව්‍ය ක‍්‍රියා’ කියාය. ස්ථාවරත්වයක් නැති නමුත් විය හැකි භාවයක් පමණක් ඇති ක‍්‍රියා පද හරහා අස්ථාවර ප‍්‍රකාශයක් කිරීමය. මේ කරන්නේ ප‍්‍රශ්නයක් විසඳනවා වෙනුවට ‘දෙපැත්තටම’ නැති වචන මාලාවකින් දමා ගැසීමය. විසඳනවා වෙනුවට ප‍්‍රශ්නය යට ගැසීමය.

මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ රටේ ප‍්‍රශ්න මේ ආකාරයෙන්  හිරවී තිබීම පසුපස ඇති දේශපාලනය පිළිබඳවය. එජාපයේ කණ්ඩායම් තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට අනුව වැඩ කිරීම නිසා මෙවැනි  ගැටලූකාරිත්වයක් මතුවී ඇතැයි ඇතැමෙකු සිතිය හැකිය. විශේෂයෙන් එවැනි විවිධ න්‍යාය පත‍්‍ර නිසා ආණ්ඩුව මෙවැනි  අපැහැදිලි  තත්ත්වයකට ඇද දැමීමට හේතු වී ඇතැයි  සමහරකුට තර්ක කළ හැකිය. එහෙත් ආණ්ඩුවේ මේ අනියමාර්ථමය ස්වභාවයට (ස්ථිර අදහසක් හා විසඳුමක් නොමැති ස්වභාවයට) ප‍්‍රධානතම හේතුවක් වන්නේ එජාපයේ අභ්‍යන්තර ගැටලූවකට වඩා  ශී‍්‍රලනිපයේ අභ්‍යන්තර ගැටලූව මුළු ආණ්ඩුවේම පැවැත්මේ තීරණාත්මක සාධකය බවට පත්වීම නිසා බව මගේ මතයය. මාගේ මේ ප‍්‍රකාශය සමඟ සමහරුන් ඍජුව එකඟ නොවිය හැකි අතර තවත් සමහරුන්ට මෙය අප‍්‍රභංසයක් ලෙසින් පෙනී යාමට ද  පුළුවන. එහෙත් මේ තත්ත්වය හරියට වග විභාග කර බැලූවහොත් මේ කාරණයෙහි ඇති නිවැරැදිතාව පැහැදිලිවනු ඇත.

පසුගිය ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමත් සමඟ මෙරට වැඩියෙන්ම අර්බූදයට පත්වූවෝ ශ‍්‍රීලනිප පක්ෂය සහ එහි පාක්ෂිකයෝය. මේ අර්බුදය කෙතෙක් ද යත් ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයේ සභාපතිවරයාත් ලේකම්වරයාත් දෙපිලක සිට ගනිමින් එකිනෙකාට එරෙහිව ජන්දයට ගිය අතර පක්ෂයේ සභාපතිවරයා පරාජයට පත්වෙමින් එළියට ගිය ලේකම්වරයා ජනාධිපති බවට පත් වූයේය. අර්බුදය එතැනින් නැවතුණේ නැත. ජයගත් හිටපු ලේකම්වරයාට පක්ෂයේ නායකත්වය භාර දිමට සිදු වූ  අතර එසේ  නායකත්වයේ සිදුවූ වෙනස නායකයින් දෙදනාගේ වෙනසක් මිස පාක්ෂිකයින්ගේ ආශීර්වාදයෙන් තොර එකක්වීම හේතුවෙන් ප‍්‍රශ්නය තවත් අර්බුදයට ගියේය. එජාපයත් සමඟ ආණ්ඩු කරන්නට නිල ශ‍්‍රීලනිපය කටයුතු කිරීමෙන් තවත් වටයකින් දරුණු කළේ මෙම සංකීර්ණ තත්ත්වයමය. මේ අර්බුදයේ ගොදුර බවට මේ වනවිට පත්වී තිබෙන්නේ ශ‍්‍රීලනිපයේ පැවැත්ම පමණක් නොවේ. එය සමස්ත ආණ්ඩුවේම පැවැත්ම ම ගොදුරු කර ගනිමින් අර්බුදයට යවමින් සිටින බව පෙනී යන්නේ ඉහතින් සදහන් කළ ආණ්ඩුවේ ගැටලූ ලිහන්නට නොහැකිවීම පසු පස මේ අර්බුදය තිබෙන බව පෙන්නුම් කිරීම නිසා ය.

සරලවම ගතහොත් එජාපයත් සමඟ ආණ්ඩු කරන්නට යාමම ශ‍්‍රීලනිපයේ පැවැත්මේ පදනමට එරෙහි වීමක් ලෙසින් මේ ප‍්‍රශ්නය තේරුම් ගත හැකිය. එවැනි තත්ත්වයකදී පාක්ෂිකයන් බහුතරය සිටින්නේ ‘මෙය අපේ ආණ්ඩුවක් නොවේ’ යැයි මානසිකත්වයකය. ඒ අය සිටින්නේ ‘එජාපයේ ආණ්ඩුවකට අපේ අය ගියා’ වැනි හැඟීමෙන් ය. මෙසේ සිතන බහුතර පාක්ෂිකයින් තමාගේ දේශපාලනමය  උත්තේජනය  ලබන්නේ මහින්ද ජනාධිපතිතුමන්ගේ එජාප විරෝධී පැවැත්මට එක් වෙමින් ය. අනෙක් අතට මහින්ද පෙරළා උත්තේජනය ලබන්නේත්  මේ පාක්ෂික ප‍්‍රවණතාව මගින් ය. මේ තත්ත්වය තුළ මෛත‍්‍රී ජනාධිපතිතුමන්  ඉන්නේ එජාපයට සම්පූර්ණයෙන් යාමටත් බැරි සහ ශ‍්‍රීලනිපයේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමටත් නොහැකි තත්ත්වයක ය. ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඉන්නේ ඊටත් වඩා අර්බුදයකය. ඒ අයට සිදුවී තිබෙන්නේ එක තැනකින් ආණ්ඩුව රකින ගමන් වෙනත් තැනකින් එයට එරෙහි වීමේ  අමුතු දේශපාලනයක්  එකවිට කරන්නට ය. දැන් ආණ්ඩුවේ ප‍්‍රශ්නවලට සහ ආණ්ඩුව කරන්න යන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයට හරි හමන් පිළිතුරක් දෙන්නට කාටවත් නොහැක්කේ මේ ‘ශ‍්‍රීලනිපයේ ගැටලූව’ නිසාය. එකට ආණ්ඩු කරන්නට හිත ශක්තිමත් වගේ පෙන්නුවාට ‘ශ‍්‍රීලනිපයේ ආණ්ඩුව’ සහ ‘එජාපයේ ආණ්ඩුව’ කරන්නේ එකම පොතේ වෙනස් පිටු දෙකක් එකට කියවනවා වගේ වැඩක් ය. සංස්කෘතීන් දෙකක් යටතේ මේ පක්ෂ දෙක පදනම්වන බව සම්මේලනවල දුටු කාරණයකින් උපහාසාත්මකව ම පෙන්විය හැකිය. පසුගිය කාලයේ ශ‍්‍රීලනිපයේ සම්මේලනවල ගැයුනු ගීතයක් වුණේ අමරදේවගේ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය ය. එජාපයේ කැම්බල් පිටියේ තිබූ පසු ගිය සම්මේලනයේ ගැයූ ගීතයක් වූයේ ‘ආජු තපර ලාහි ලා’ ගීතය ය. දැන් මේ දෙක එකට ආණ්ඩු කිරීමෙන් පෙන්නුම් කරන්නේ එහාටත් නැති මෙහාටත් නැති ආකාරයට සංස්කෘතීන් දෙකක් එකට දැමීමක් ය. එය හරියට ‘රත්න දීප ලා හිලා’ වැනි විකාර ගීතයක් ගැයුවා වගේ ය.

මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමත් එජාප මුල් වූ ආණ්ඩුවෙන් පක්ෂය ගලවා ගැනීමත් එකවිට කරන්නට සිදුවීම නිසා අදවන විට ශ‍්‍රීලනිපයේ දේශපාලනය වැටී ඇත්තේ බරපතළම තත්ත්වයකටය. මේ ගැන සිතන සමහරුන් කියන්නේ මේ මොහොතේ ශ‍්‍රීලනිපය  කියා දෙයක් නොමැති බවත් ආණ්ඩු විරෝධී දේශපාලනය එකතුකොට ආණ්ඩුවට එරෙහිව අලූතින් ගමනක් පටන් ගත යුතු බවත්ය. එහෙත් එවැනි තීරණයකට එකඟ නොවන සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිප පාක්ෂිකත්වයක් ද මේ රටේ සිටින බව මෙහිදී තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වන්නේ ඉතිහාසයේ පාඩම් මගින් කියන්නේ එවැනි  කථාවක් නිසා ය. සී.පී. ද සිල්වා මෛත‍්‍රීපාල සේනානායක, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක, සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි නායකයන් ගත් විකල්ප උත්සාහයන් අසාර්ථක වූයේ එක් අතකින් මේ පාක්ෂික ගතිකත්වය සංස්කෘතික අවිඥානයක් ලෙසින් පැවතුණු නිසාත් අනෙක් අතින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ නායකත්ව සංකේතය ලෙසින් එක  අන්තයක දිගටම පෙනී සිටි නිසාත්ය. ඒ පාක්ෂික ගතිකත්වයේ අවිඥානය පාක්ෂිකයා තුළ අදටත් එසේම තිබෙන නමුත් බණ්ඩාරනායක මැතිනිය අද ජීවතුන් අතර නැති තත්ත්වයක් තුළ ඒ අන්තයේ දේශපාලන හිස් තැන පුරවන්නේ කවුරුන්ද යන ප‍්‍රශ්නය ඉතාමත් වැදගත් ආකාරයෙන් ඉදිරියට පැමිණ ඇත. මේ හිස් තැන පුරවන්නේ කෙසේද කවුරුන් විසින්ද යන ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර මෙහිදී ඉතාමත් වැදගත් ය. පක්ෂයේ ඉහළටම ගොස් ජනාධිපතිධුරයට පත් වූ තිදෙනකුම ශ‍්‍රීලනිපයට ඉන්නේ පළමු වතාවටය. එවැනි නායකයත්වයක් තිබෙන මොහොතක පක්ෂයක් වඩාත්ම ශක්තිමත් විය යුතු යැයි සරල බුද්ධියට වුවත් තේරුම් යා යුතුය. එහෙත් අද ශ‍්‍රීලනිපය තිබෙන්නේ එකම ජනාධිපතිවරයකුවත් නොසිටි කාලයටත් වඩා අවුලකය. මේ තත්ත්වයට හැමෝම වගකිවයුතු ද කියා මා දන්නේ නැත. එහෙත්  මේ තත්ත්වයෙන් මිදීමට හැමෝම එක් විය යුතු බව නම් සැබෑය.

ශ‍්‍රීලනිපය මේ ප‍්‍රශ්නයෙන් ගැලවීමට කළ යුතු  අත්‍යවශ්‍යම දෙයක් වන්නේ පක්ෂයට බලපෑමක් කළ හැකි හා සංස්කෘතියෙන්ම පක්ෂය සමඟ සිටින මන්ත‍්‍රීවරුන්  නොවන දේශපාලන කේඩරයක් පෙරට ඒමය. නායකයන්ට හා මන්ත‍්‍රීවරුන්ට එහායින් පක්ෂයේ ප‍්‍රශ්නය හා රටේ අභියෝගය ආමන්ත‍්‍රණය කළ හැකි කණ්ඩායමක් පෙරට ඒමය. පක්ෂයේ ප‍්‍රශ්නය නායකයන්ගේ ඇෙඟ් තියා කල් මරන මන්ත‍්‍රීවරුන්ගෙන් හා වේදනාවෙන් සිටින පාක්ෂිකයන්ගෙන් මෑත්ව මේ අර්බුදය  තේරුම් ගැනීමට හැකි පිරිසක් ගොඩ නැගීම ය. එවැනි මැදිහත් වීමක් කළ හැකි කණ්ඩායමක් මේ තත්ත්වය අතට ගැනීමකින් තොරව එක පක්ෂයක් ලෙසින් ඉදිරියට යාමේ ඉඩත් ශ‍්‍රීලනිපයට නැත. අප පසුකරමින් සිටින්නේ එකිනෙකාගේ ශක්තිය එකිනෙකාට පෙන්වන ශ‍්‍රීලනිප සන්දර්ශකයන්ගේ යුගයක් වන අතර එය විසින් සිදු කරන්නේ විරුද්ධවාදීන් සතුටු කිරීමක් මිස වෙනත් යමක් නොවන බව බැලූ බැල්මට පෙනී යන සත්‍යය ය.  මේ සත්‍යය  දෙපිරිසම අද පිළි නොගත්තත් ඉදිරියේ දී පිළිගනු ඒකාන්තය.

ශ‍්‍රීලනිපයේ මේ ගැටුමට මැදිවී නැති එහෙත්  පක්ෂයට හැමදාම සිටි හා සිටින මිතුරියක් මට පසුගිය දිනක හමු වූයේය. දැනට ජීවතුන් අතර නැති ඇයගේ පියා සහ මව දෙදෙනාමත් එකම සහෝදරයාත් යන තිදෙනාම ශ‍්‍රීලනිපයේ හිටපු මන්ත‍්‍රීවරුය. ඇයගේ සහෝදරයා ඝාතනයට ලක්වූයේ පක්ෂයේ දේශපාලනය හේතුවෙන් ය. අප කථා කළේ මහින්දත් මෛත‍්‍රීත් පැත්තකින් තබා පක්ෂය ගැන සිතන කණ්ඩායමක් ශ‍්‍රීලනිපයට නොමැතිවීමේ ගැටලූව ගැනය. නායකයන් මන්ත‍්‍රීවරුන් සහ පාක්ෂිකයන් පමණක් මිස පක්ෂයට ෙඓන්ද්‍රියව ගැසුණු බුද්ධිමය කේඩරයක් නොමැති වීමෙන් අද පක්ෂය මුහුණ දෙන ගැටලූව අතිශයෙන්ම බරපතළය. වසර විස්සකට ආසන්න කාලයක් විපක්ෂයේ සිටි නමුත් තමන්ගේ පක්ෂය නොකැඞී එකක් ලෙසින් තබා ගැනීමට එජාපයට හැකියාව ලැබුණේ පක්ෂය කොතරම් දුර්වල වුවත් එයට ගැට ගැසුණු  පණ්ඩිතරත්නලා ස්වාමිනාදන්ලා දහම් විමලසේනලා මාරපනලා වැනි පසු සිතන්නන් කණ්ඩායමත් ඒ අයට සිටි නිසා බැව් පිළි ගැනීම මෙහිදී වැදගත් ය.

‘බෙදීම’ ගැන දෙපැත්තම  උනන්දුවන වෙලාවක ‘එකතු කිරීම’ ගැන කථා කිරීම දෙගොල්ලන්ටම නුරුස්සන සුළු දෙයක් විය හැකිය. අනෙක් අතට  එවැනි වෙලාවක එකතු කිරීම ගැන කථා කිරීමම  කථා කරන අයට දේශපාලන වශයෙන් ද අනතුරුදයකය. එහෙත් එජාපයේ දේශපාලනයට එරෙහිවීම පලදායක වන්නට නම් බෙදීමට එරෙහිව එකතු කිරීමේ පාඩමට ශ‍්‍රීලනිපයේ හැමෝම ගෙන ආ යුතුමය. එවැනි එකතු කිරීමක් යනු අහසේ තියෙන දෙයක් නොවන බවද මෙහිදී තේරුම් ගත යුතුය. ආණ්ඩුවට විරුද්ධ නායකයන් දඩයම් කරන රාජපක්ෂ පවුල පසු පස පන්නන දේශපාලනය නිමාවීම එවැනි එකතු කිරීමක් සමඟ සම්බන්ධ විය යුතුමය. අප යන්නේ ආණ්ඩුවක් හදන්නට නොවේනම් දෙපැත්තටම වඩාත් හොඳ විය හැක්කේ බෙදීමය. එවැනි බෙදීමකදී ඒකාබද්ධ විපක්ෂයට ලොකු කෑල්ලත් නිල ශ‍්‍රීලනිපයට පොඩි කෑල්ලත් ලබා ගත හැකිය. එහෙත් මේ කෑලි දෙකෙන් එකක මන්ත‍්‍රීකමක් වෙනුවෙන් පාක්ෂිකයන්ගේ පැත්තෙන් එන ආණ්ඩුවක් ලබා ගැනීමේ අපේක්ෂාව බිල්ලට යුතු ද යන්න නැගිය යුතුම ප‍්‍රශ්නයක් ය.

ගෙයක් ගිනි ගත් මොහොතක අපගේ අවධානය යොමුවිය යුත්තේ ගිනි ගත් ආකාරය සෙවීමට වඩා ගින්න නිවීමටය. ගිනි තිබ්බේ කවුරුන්ද කියා සෙවීමට වඩා ගින්න නිවිය හැකි ආකාරයන් සෙවීමටය.