ජවිපෙ 2 වැනි කැරැල්ල බෞතිස්ම කළ 1987 ජුලි 28 වැනිදා ඇරඹූ අරගලයේදී ප්‍රථමයෙන් මියගිය මොරටු සරසවියේ ක්ලිෆඞ් පෙරේරා වෙඩි පහරින් මියගොස් සිටි අයුරු සහ ඉහළ දකුණේ ඔහුගේ ඡායාරූපය.

 

අප්‍රේල් කැරැල්ලේ 16 වැනි සමරුව නිමිත්තෙන් වසර 1987 අප්‍රේල් 5 රෝහණ විජේවීරගේ හඬ පටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇති වී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අපි එළඹ සිටින්නේ අරගලයේ එකොළොස් වන පැයට බවය.


ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ආරම්භ වූවද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජූලි 28 කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයත් සමඟය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර 1987 අප්‍රේල් 15 පල්ලෙකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජුනි 4 ගුවනින් පරිප්පු හෙළන ලදී. 1987 ජුනි 7 ජවිපෙ මගින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් 1987 ජුනි 22 සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි. 


මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සඳහා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමිණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්. ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වන වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු - ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජුලි 9 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයයි. එහි නායකයින් වූයේ හැඩිගල්ලේ පක්‍ඳ්ඤාතිස්ස මහනාහිමියෝ, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.


සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් මව්බිම සුරැකීමේ සංවිධානය ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28 වැනිදා විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ කොළඹ ටවුන්හෝල් හි විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය එදින විරෝධතාවය පැවැත්වීමට තීරණය කර තිබුණේ කොටුව බෝගහ අසලදීය. සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සිරිමා බණ්ඩාරනායක කොළඹ රොස්මීඞ් පෙදෙසේදී හමුවූ අතර විහාර මහා දේවි අසල විරෝධය ද බෝගහ අසලට ගෙන ගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කරගැනීමට එක්වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රීලනිපයේ මව්බිම සුරැකීමේ සංවිධානයට එම තීරණයට අනුගතවන්නට සිදුවීම හැර විකල්පයක් නොවීය.


කොටුව බෝගහ අසල විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00 ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසල් සිසුන්ද කොළඹ නගරයට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයාද විරෝධතාවට එක්කර ගැනීමට ඇති එය සුදුසුම ස්ථානය බැවිනි. උදෑසන පෙරවරු 6.30 ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ඇතැම් ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරිකයන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්. බී. හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරකවරුන් බවට පත්වී තිබිණි. අප සමඟ ගිය ඡායාරූප ශිල්පියා වූයේ ගාමිණී අක්මීමනය. එදින එළිවන විට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ ආණ්ඩුවට එරෙහිව මුළු කොළඹම සහ ප්‍රධාන නගර රක්ත වර්ණ පෝස්ටර් සහ වැකිවලින්ද ලයිට් කණු වැනිදෑ කළු කොඩි වලින්ද සරසා තිබිණි.
ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමතිවරුන් වන ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී ජයසූරිය ගේ සහායක් නොමැති බවට පුවත්පත් හි මාධ්‍ය ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200 ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක්ද පැමිණ තිබිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬනගනවා ඇසිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬනගනවා ඇසිණි. උදෑසන 9.00 පමණ වන විට කොටුව බෝගහ අසලට 3,000 කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රිලනිප නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඞ් පතිරණ ඇතුළු ශ්‍රීලනිප නායකයින් කිහිප දෙනෙක්ද එහි වූහ. 


ගිවිසුමට එරෙහිව කොටුවේ දී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනක වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජුලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයින් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජුලි 11 කැඳවා තිබිණි. ඩී. එම්. ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකිතාක් පිරිස් කොළඹ කොටුව විරෝධයට එක්කර ගතයුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්. බී. හේරත්ද ජුලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂූන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුනට වගකීම් පැවරූහ සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසල්වල සිසු කණ්ඩායම්ද රටපුරා ප්‍රධාන නගරවලට කැඳවා ගෙන ඒමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැඳවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට ඒ අනුව සැලසුම් සකස් කෙරිණි.


වසර 1987 ජුලි 28 පෙරවරු 11.30 පමණ වන විට 20,000 කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක් වූ අතර කොටුවට එන සියලු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂූන් වහන්සේලා ගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැගි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයෙකු වූ එච්. බී. හේරත්ය, මේවාට විසඳුම් ගැනීමට රටේ පාලකයා සොයා රජ ගෙදරට යාමට සූදානම් වන්නැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.


දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ල වූයේ ඉන් පසුවය. වේලාව මධ්‍යහ්නය වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමා බණ්ඩාරනායක වටකරගත් ආරක්ෂක නිලධාරිහු ඇය බෝගහ අසල විහාරගෙට පළමුවද දෙවනුව වාහනයකටද නංවා ගත්හ. බේබි හාමු කොහේදැයි කලබලයෙන් ඇසූ ශ්‍රිලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. පිරිස කඳුළු ගෑස්වලින් නැහැවී තිබිණි. වෙඩි ප්‍රහාර සහ බැටන් ප්‍රහාර මධ්‍යයේ තත්ත්වය ඉතා උණුසුම් විය. පසු බසින පිරිස් ප්‍රකෝපකාරි විය. 


මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් බොහෝ වෙලා කඳුළු ගෑස්වලට නොබියව මුහුණදෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයින් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් කෑගල්ලේ විමල සාමනේර හිමිය. උන්වහන්සේ පිටුවල ධම්මකීර්ති හිමි හෙවත් ලෙනින් හාමුදුරුවන්ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ ලෙනින් හාමුදුරුවෝ ජවිපෙය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි. පසු කාලයේ ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22 පැහැරගෙන ගොස් තිරස්චින ලෙස ඝාතනයට ලක්කර තිබිණි.


වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටුවලින් අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිසුන් හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වහයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම් කළ සටන්පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන්පාඨ හඬ නැගිණි. ලේක්හවුසිය ඇතුළු රජයේ අමාත්‍යංශ ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල විය. සතර අතට පෙළපාලි 10 ක් පමණ විසිරගිය අතර ඒ සෑම පෙළපාලියකම දහසකට අධික පිරිසක් විය. භික්ෂූන් සහ සරසවි සිසුන් එහි පෙරමුණ ගත්හ.


ගිවිසුම් විරෝධී එම අරගලයේදී කොටුව බෝගහ අසල වෙඩි තැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆඞ් පෙරේරාය. සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල විසින් බිම ඇද වැටුණු ක්ලිෆඞ් ඔසවා ගත්තේය. මාතුපාල ගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනෙකුගේ සිරුරු සවස්වන විට කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් තිබිණ. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆඞ් ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙනයෑමටද ලේඛකයා සහාය විය. ක්ලිෆඞ් ලේඛකයාගේ පාසල් සමකාලිනයෙකුද විය. ක්ලිෆඞ්ගේ අවසන් කටයුතු ජා ඇල දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.


කොටුව බෝගහ අසලින් බෞතිස්ම කළ ජවිපෙ 2 වැනි කැරැල්ල රටපුරාම පැතිර ගියේය. වසර 1987 ජුලි 28 සිට අගෝස්තු 02 දක්වා පැවති ගිවිසුම් විරෝධතාවයන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132 ක් මිය ගියෝය. භික්ෂූන් 56 දෙනෙකු ඇතුළු 712 ක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම දින 05 තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527 ක් සිදුවූ බව රජය ප්‍රකාශ කළේය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව දැනුවත්කර සංවිධානගත කරනවාට වඩා ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට බෝගහ යටින් ආරම්භ වූ 2 වැනි කැරැල්ල සමඟ ජවිපෙ අවතීරණ විය.


ජවිපෙ කැරලිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කළේ 1987 ජුලි 31 දාය. අඟුණකොලපැලැස්සේදී විරෝධතාකරුවන්ට මැදිවූ මන්ත්‍රීවරයා වෙඩිතබා මරා දමා තිබිණි. ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ ගම් සභාපතිවරයෙකු වූ ඔහුගේ ඝාතනයෙන් පසු චිට් මන්ත්‍රී ධූරයට පත් කළේ ඔහුගේ පුතා ය.


රජය 1987 ජූලි 28 රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවිය. ගිවිසුම අත්සන් කිරිමට රජීව් ගාන්ධි එන බවට වාර්තා විය. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 1987 ජුලි 29 පස්වරුවේ ය.


ඉන්දු - ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රටපුරා එයට එරෙහිව නායකත්වය දෙන්නේ යැයි තොරතුරු ලැබී ඇති සියලුම සරසවි සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව එක් රැයින් එම මෙහෙයුම ක්‍රියාත්මක විණි. ඒ සරසවි සිසුන් අත් අඩංගුවට ගත් දීපව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ 1987 ජුනි 22 මහ රාත්‍රියේදීය, රහස් පොලිස් වාර්තා අනුව සරසවි සිසුන් 310 ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක විය.


මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ, කැළණිය, මොරටුව සහ ජයවර්ධනපුර සරසවියන්හි සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමට රජයට සහාය වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි ඇතුළු පිරිසකි. එහෙත් අදාළ ස්ථානයන්හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිසු නායකයින් 88 දෙනෙකු පමණි. ඒ අතර ශිෂ්‍යාවක් සහ පැවිදි හිමිවරුන් 10 දෙනෙකුද විය. එවැනි මෙහෙයුමක් පිළිබඳව තෙදිනකට පමණක් පෙර යම් ඉවක් වැටී තිබුණු හෙයින් බොහෝ දෙනා සිය නවාතැන් වෙනස්කර තිබිණි. එය එකවර අත්අඩංගුවට ගත් විශාලතම සරසවි සිසු පිරිස විය.


ඒ අතර කොළඹ සරසවියේ ගෙවිදු කුමාරතුංග, පුෂ්ප විතානගේ, හේමන්ත චන්ද්‍රසිරි, අනූප පැස්කුවල්, රොෂාන් ගුණවර්ධන, එම්. ඩී. එච්. එම්. විමලසූරිය, විරාජ් පීරිස්, මංගල හිමි, ආනන්ද හිමි, උපනන්ද හිමි, ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිද පේරාදෙණි සරසවියේ අයි. බාලසූරිය, ජූඞ් පරාක්‍රම, ධර්මප්‍රිය ජයනන්ද, සුසන්ත සපුතන්ත්‍රී, මහේෂ් පෙරේරා, මොහොමඞ් ඉක්බාල්. වී. අරුන්දවරාජා, එන්. සිවනේස්වරන්, නයනා ප්‍රේමසිරි, එම්. එස්. ආර්. කුරේ, කීර්ති කුමාර මද්දුමපටබැඳිගේ, එල්. අබේරත්න, එස්. ඊ. මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ජේ. පී. ප්‍රනාන්දු, අතුරලියේ රතන හිමි, පොද්දල්ගොඩ ඛේමානන්ද හිමි, මැදගම පක්‍ඳ්ක්‍ඳසාර හිමි, නන්දසිරි බලන්ගොඩ, සාලිය යාලපොල, එස්. ඒ. ජේ. කේ. ගුණතිලක, සුමනරත්න ජයසිංහ, මහේෂ් ද සිල්වා, විරෝෂන් ගුණසේකර, දුම්බර මණ්ඩපයේ පානදුර ආනන්ද හිමි ඒ අතර වූහ.
එමෙන්ම මොරටු සරසවි සිසුන් වූ සුනිල් ශාන්ත, ඩී. එන්. ද සිල්වා. සුමිත් ද අල්විස්, අශෝක අභයගුණවර්ධනද රුහුණු සරසවියේ ඊ. ඒ. එදිරිසිංහ, පී. එස්. කේ. ආරියරත්න, විස්මන් පෙරේරා, විමලසිරි, ප්‍රේමතිලක, ඩී. ආර්. නිශ්ශංක, ඬේමියන් වීරක්කොඩි, ප්‍රසන්න හිරිමුතුගොඩ, තිලක් ගුණවර්ධන, බී. ඒ. විජේසිරි, හරිස්චන්ද්‍ර, නිමල් ඩී, රුවන්පතිරණ, ආර්.සමරසිංහ, දේව මයිකල් පෙරේරා, ජිනදාස, තිලක් කීරවැල්ල, සරත් පීරිස්, එම්. ධර්මතිලක, සිරිමාන්න, එම්. බී. ජයසිරි, බී. එල්. කේ. නන්දසේනද ජයවර්ධනපුර සරසවි සිසුන් වූ හේමන්ත අබේසූරිය, නන්දසිරි, සමරතුංග, කමල් ප්‍රනාන්දු, ප්‍රීතිමාල්, ලලිත්. පාලිතද, කැළණිය සරසවියෙන් මොහාන් ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝමහිමි, සේනාධීර, මාදම්පේ නන්දාරාම හිමි, දුනකවත්තේ ගුණරත්න හිමි, ගම්මාදගම ගුණසිරි හිමි ඇතුළු පිරිසක්ද එයට අයත් වූහ.


මෙසේ අත්අඩංගුවට ගත් 88 දෙනා ගෙන් 71 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයට ගෙනවිත් රඳවා තැබිණි. ඔවුනට වධබන්ධනවලට මුහුණදීමට සිදු නොවූ අතර රජයේ එකම අරමුණ වූයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන්කර නිමවන තෙක් එම සරසවි සිසු නායකයින් අත්අඩංගුවේ රඳවා තබා ගැනීමය. හදිසි නීති රෙගුලාසි 87 යටතේ රඳවාගත් ඔවුන් බැලීමට ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ට අවසර ලැබුණේ සතියකට දෙවරක් පමණි. එම සරසවි සිසු නායකයින්ට අමතරව ජවිපෙ ක්‍රියාකාරිකයින් 55 දෙනෙක්ද අත් අඩංගුවටගෙන රඳවා තිබිණි. ඔවුන් අතර සමන් වික්‍රමබන්දු, ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාරච්චිද වූහ.


එසේ අත් අඩංගුවට ගත් ඉහත සරසවි සිසුන් 88 දෙනා අතරින් 6 දෙනෙක් හැර අනිකුත් අය 1987 අගෝස්තු මස 05 වන විට කොටස් කිහිපයක් වශයෙන් නිදහස් කරන ලදී.

 

 

 


මතු සම්බන්ධයි.