71 කැරළිකරුවන් හම්බන්තොට නගරයට ඇතුළුවන පුවරුව විමුක්ති නගරය ලෙස නම්කර තිබූ අයුරු කැරළිකරුවන් සහ වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බි්‍රතාන්යයේ එවබරි සාමි සමඟින් අධිනීතිඥවරුන්වූ ප්‍රින්ස් ගුණසේකර සහ බාල තම්පොද මෙහි වේ.

 

28 වැනි විත්තිකරු වූ ඇලඩින් සුබසිංහ හෙවත් සුදු හකුරු ඇලඩින් නිදහසින් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ අතර වර්තමානයේ බලපිටිය සහ ඇල්පිටිය යන උසාවිවල සේවය කරන නීතිඥයෙකි.
ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු හෙවත් කළු ලකී 29 වැනි විත්තිකරු වූ අතර කෝට්ටේ කණ්ඩායමේ නායකයෙකු විය. 1965 විජේවීර මුණගැසීමෙන් පසු ජවිපෙ සමගින් එක් වූ ඔහු අප්‍රේල් 5 කොළඹ පොලිසිවලට පහරදීමට තිබූ ප්‍රහාරය අසාර්ථකවීමෙන් පසු බැස්සේය. නිදහසින් පසු ගෝනවල සුනිල් සමග සමිප සම්බන්ධතාවයකින් කටයුතු කළ ඔහු එජාපයට හිතවත්ව විනිසුරුවරයෙකු ගේ නිවසට ගල් ගැසීමේ සිද්ධියට නායකත්වය දීමෙන් ආන්දෝලනාත්මක චරිතයක් විය. 


30 වැනි විත්තිකරු වූ ලක්ෂ්මන් ජයම්පතී මුණසිංහ හෙවත් පොඩි ලකී නිදහසින් පසු දේශපාලනයෙන් ඉවත්ව ගණකාධිකාරිවරයෙක් වශයෙන් සේවය කළේය. දැනට නුවර පදිංචිය. 


කාරියවසම් ගෝනපීනුවල ගමගේ මෙරිල් ජයසිරි 31 වැනි විත්තිකරු වූ අතර ගෝනපීනුවල පදිංචි තැපැල් දෙපාාර්තමේන්තුවේ සේවකයෙකි. 1971 අගෝස්තු 8 මිත්‍රයෙකුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර නිදහසින් පසු දේශපාලනයේ නියැළුනේ නැත. එන්. ප්‍රේමරත්න හෙවත් චුක්කි 32 වැනි විත්තිකරු වූ අතර 1968 දී ජවිපෙට එක් විය. කටුනායක ගුවන්තොටුපොළ ප්‍රහාරයට එක්වීමට සිටියද අනපේක්ෂිත ඇඳිරි නීතිය නිසා පසුබැස ගිය අතර ජුනි මසදී අනුරාධපුරයට ගොස් විල්පත්තුවේ සිටි කණ්ඩායමට එක් විය. වර්තමානයේ ඉංජිනේරුවරයෙකි. 


ජවිපෙ දෙවැනි නායකයා වූ විජේසේන ජී. විතාරණ හෙවත් සනත් බොරළුකැටිය 33 වැනි විත්තිකරුය. විදුහල්පතිවරයෙකු වූ හික්කඩුවේ පදිංචි ඔහු කැරැල්ලේදීම මරණයට පත් විය. සිංහරාජයට පසු බසින විට යට්ටපාත හරහා නෙළුවකන්ද අසළ හිතවංශගේ බාප්පාගේ නිවසට යෑමේදී බටුවන්ගල ගම්වැසියන් ඔහු අල්ලා ගෙන උඩුගම පොලිසියට බාර දුන්නේය. ඔවුන් ලවාම වළවල් කප්පවා සනත් ඇතුළු තිදෙනාටම වෙඩි තමා මරා එම වළවල් වලටම දැමූ බව කියති. 


මාතර දිස්ත්‍රික් නායකයා වූ 34 වැනි විත්තිකරු සුසිල් වික්‍රමසිංහ මාතර කොටුවේ තිබු ගැමුණු හමුදා කඳවුරට පහර දීමට යාමේදී තම අත තිබු බෝම්බයට හමුදා භටයින් තැබු වෙඩිල්ලක් වැදීමෙන් බෝම්බය පිපිරී මරු මුවට පත් විය. 35 වැනි විත්තිකරු වූ සරත් විජේසිංහ කෑගල්ල දිස්ත්‍රික්ක නායකයා වූ අතර කැරැල්ල පවතින අවස්ථාවේදී කැරලිකරුවකුගේ අතින් අත් වැරදීමකින් තැබූ වෙඩිල්ලක් නිසා මරුමුවට පත් විය. මාබෝලේ එම්. මිල්ටන් ප්‍රනාන්දු 36 වැනි විත්තිකරු වූ අතර 1971 අප්‍රේල් 5 කඩවත පොලිසියට පහර දිමේදී මියගියේය. පවුලේ එකම පිරිමි දරුවා වූ මිල්ටන්ට සොහොයුරියන් තිදෙනෙකි. ජවිපෙ 1964 ආරම්භක සාමාජිකයන් 11 දෙනෙකුගෙන් එක් අයෙකි. මිල්ටන්ගේ පියා ඔහු කුඩා කාලයේදීම මියගොස් තිබිණි. 


අප්‍රේල් කැරැල්ලේ ප්‍රධාන නායකයින් 5 දෙනා ගෙන් අයෙකු වූ අක්මීමන ඩබ්ලිව්.ටී. කරුණාරත්න 37 වැනි විත්තිකරුය. කැරැල්ලෙන් පසු පළා ගොස් සිටියදී රත්නපුරයේ තිරිවාණකැටිය ප්‍රදේශයේදී රහස් පොලිසියේ ඇන්ටන් ජෙගනාදන් විසින් අත්අඩංගුවට ගත් ඔහු වසර 8 ක සිර දඬුවමකින් පසු නිදහස ලැබීය. 


මහ නඩුවේ 38 වැනි විත්තිකරු වූ ප්‍රේමපාල හේවාබටගේට 1964 දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී විජේවීර හමුවිය. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටි ප්‍රේමලාල්ට වඩා මාස 11 කින් විජේවීර වැඩිමහල් විය. හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍රධානියෙකු වූ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයින්ට ද පන්ති පැවැත්වූවෙකි. කැරැල්ලේ පරාජයෙන් පසු 1971 අප්‍රේල් 8 මාතලේ ලෙනදොර කඳවුරට එක් වූ ඔහු විල්පත්තුව ඇතුළු රට පුරා සැඟවී සිටි ජවිපෙ සාමාජිකයින් සම්බන්ධීකරණය කරමින් සිටියදී 1972 නොවැම්බර් මස 3 ගාමිණී බාස්ගේ ඔත්තුවක් අනුව ගෙලිඔයේදී අත්අඩංගුවට පත් විය. මහ නඩුවේ දී වසර 5 ක සිර දඬුවමක් ලැබූ අතර පසුව 1977 දී සියලු සිරකරුවන් සමග නිදහස් විය.

නිදහසින් පසු ජනතා සංගමයේ නියමුවෙකු ද විය. ප්‍රේමපාල ආවාහ වී සිටියේ ජවිපෙට සම්බන්ධ වී සිටි විජිතා සමගය. තිදරු පියෙකි. ජාතික ඉඩම් සහ කෘෂි කර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ 2011 දක්වා නායකයෙකු වශයෙන් ද කටයුතු කළේය. වර්තමානයේ ද වාම ව්‍යාපාරයේ ස්වාධීන ක්‍රියාකාරිකයෙකි. 


නායනානන්ද විජේකුලතිලක 39 වැනි විත්තිකරු වූ අතර චිත්‍ර සහ මුර්ති ශිල්පියෙකි. නිදහසින් පසු නව සම සමාජයේ ක්‍රියාකාරිකයෙකු වූ අතර පසුව ඉන් ඉවත් වී නිදහස් මත දරන වාම ක්‍රියාකාරිකයෙකු විය. බිරිඳ පද්මාය. 
මහ නඩුවේ 40 වැනි විත්තිකරු වූ ඩී.ජී. විමලගුණේ මාතර උපන් අතර මහ නඩුවේ දී චෝදනා රහිතව නිදහස් කරන ලදී. පසුව ශ්‍රීලනිපයට ද අනතුරු එජාපයට ද එක් විය. ජවිපෙට ලැදිව සිටි ඔහු අවසාන කාලයේදී මාතර දී ඉතා දුක්ඛිත අන්දමින් මියගොස් තිබිණි. 


ධර්මසේකර කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකුව සිට දිගටම ජවිපෙ සමග එක් වී සිටි ජේ.ඒ.පී. ජයකොඩි මහ නඩුවේ 41 වැනි විත්තිකරුය. ජයකොඩි අත්අඩංගුවට ගත්තේ 1974 ජුනි 17 කටුගස්තොටදීය. බෝල සමරේ සමග කුරුණෑගල පොලිසියට කළ ප්‍රහාරයේදී සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සටන් වලදී සක්‍රීයව එක්වී සිටි ජයකොඩි කලක් සර්වෝදයේ සේවය කළ අතර 1990 ජීවිතයෙන් සමු ගත්තේය. 


ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරමින් තාවකාලික මධ්‍යම කමිටුවක් 1975 මාර්තු 18 පිහිටුවන ලදී. රෝහණ වීර සභාපති වූ අතර ලේකම් ධුරයට උපතිස්ස ගමනායක පත්විය.