වඩුගේ මිත්‍රසිරි සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝක 5 වැනි විත්තිකරු වූ අතර අම්බලන්ගොඩ පදිංචිකරුවෙකි. ධර්මාශෝක ආදි ශිෂ්‍යයෙකි. සිව්දරු පවුලක දෙවැන්නා වූ සුනන්දගේ නැඟණිය කමනිද ජවිපෙ පූර්ණකාලීනයෙකු වූවාය. පියා කෙන්තොට විදුහල්පතිවරයෙක් විය. ජවිපෙ 2 වැනි නායක සනත් හරහා ජවිපෙට එක් වූ සුනන්ද බදුල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේය.


සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 05 රාත්‍රී හපුතලේ තේ වත්තක ඇඳිරිනීතියට කොටුවී සිටි බැවින් ප්‍රහාරයට සහභාගි වීමට නොහැකි විය. එහෙත් බදුල්ලේ කණ්ඩායම වැලිමඩ පොලිසියට පහරදී තිබිණි. පසුව සුනන්ද කැරලිකරුවන් සමග උඩුපුස්සැල්ලාව හරහා වලපනේට ගොස් යළි පැමිණ අප්‍රේල් 23 අම්බලන්ගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය. ජනතා සංගමයේද මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ සුනන්ද මර්ජ් ආයතනයේ ප්‍රකාශනයක් වූ යුක්තිය සතිපතා පුවත්පතේ හිටපු කතුවරයාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසකට සම්බන්ධ වූ ඔහු ආවාහ වූයේ 71 කැරැල්ලට සම්බන්ධ වූ කුරුණෑගල රෝහලේ රසායනාගාරයේ සේවය කළ රත්නායකගේ නැගණිය වූ බණ්ඩාර මැණිකේ සමගය. වර්තමානයේ ස්විට්ස්ර්ලන්තයේ වාසය කරමින් මානව හිමිකම් ක්‍රියාකාරකම්වල නියැළේ.


විජේමුණි දේවගේ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල 6 වැනි විත්තිකරු වශයෙන් රජයේ සාක්ෂිකරුවෙක් විය. කඩවත ගෝනහේනේ උපන් ඔහු 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩමලාය. පියා ලංගම රියැදුරු පුහුණු උපදේශකයෙකි. කිරිල්ලවල සහ ගම්පහ රාහුල විදුහල් වලින්ද, මරදානේ ස්ටැෆඞ් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූ අතර 1965 දී පියතිලක මගින් ජවිපෙට බැඳිණි. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ විජේවීර ඇතුළු ඉහළම නායකයින් 4 දෙනාගෙන් එක් අයෙකු වූ අතර ආයුධ අංශය භාරව සිටියේය. ලොකු අතුල අප්‍රේල් 05 රාත්‍රී කෑගල්ල පොලිසියට පහරදීමට ගියද පැවති තත්ත්වය අනුව පසුව එය අවලංගු කොට අප්‍රේල් 29 බලපත්තාවට රැස්ව විල්පත්තුවට පසු බැස්සේය. වසර 1975 ජනවාරි 10 නිදහස් විය. ආවාහ වූයේ කැරැල්ලේ ක්‍රියාකාරිනියක වූ ධම්මිකා සමඟ වන අතර ඇය 12 වැනි විත්තිකරු වූ ටී.ඩී. සිල්වාගේ වැඩිමහල් දියණියයි. මහජන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිට 1994 පාර්ලිමේන්තුවට පත් වූ ලොකු අතුල කලක් චන්ද්‍රිකා රජයේ විදුලිබල නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන්ද කටයුතු කළ අතර 2014 නොවැම්බර් 29 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.


මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 7 වැනි විත්තිකරු වූ අතර ගාල්ලේ අක්මීමන උපන්නේය. තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වූ ඔහු ගාල්ල ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. සිග්මා කම්හලේ සිටියදී වැඩවර්ජනයට සහභාගි වීමෙන් රැකියාව අහිමි වූ ඔහු 1967 අග භාගයේදී ජවිපෙට බැඳී ආයුධ අංශයේ කටයුතු කළ අතර බෝම්බ නිෂ්පාදනයේදී අතක් අහිමි විය. අයිවන් ප්‍රතිකාර ගනිමින් සිටියදී 1971 අප්‍රේල් 4 අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියට ගෙන එන ලදී. නිදහසින් පසුව සමසමාජයට බැඳී ගාල්ල අතුරු මැතිවරණයට තරග කළ අයිවන් රාවය සඟරාවේ සහ පුවත්පතේ සමාරම්භක කර්තෘවරයාය. ප්‍රකට ලේඛකයෙකි. චන්ද්‍රිකා රජය 1994 බලයට පත්කිරීම සඳහා පුරෝගාමී සේවාවක් කළ ඔහු පසුව ඇය පිළිබඳව චෞර රැජින නමින් ග්‍රන්ථයක්ද ප්‍රකාශයට පත් කළේය. වර්තමානයේ රාවයේ උපදේශක කර්තෘවරයාය.
අටවැනි විත්තිකරු වූ මහරගේ දොන් නෙවිල් නිමලරත්න හෙවත් නිමල් මහරගේ ගංගොඩවිල උපන් අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ හොරණ නාලන්දාවෙන් අධ්‍යාපනය ලැබීය. ඩී. ඒ. ගුණසේකර මගින් ජවිපෙට එක්වූ ඔහු ප්‍රහාරයේදී කෝට්ටේ කණ්ඩායමේ නායකයා විය. අප්‍රේල් ප්‍රහාරය ක්‍රියාවට නැගීමට නොහැකි වීමෙන් පසු නිමල් මහරගේ හොරණ දොඩංගොඩ සැඟවී සිටියදී 1971 ජූලි 17 පොලිස් අත්අඩංගුවට පත් විය. ආවාහ වූයේ කැරැල්ලේ නායිකාවක් වූ විදුදය උපාධි අපේක්ෂිකා චන්ද්‍රා ජයන්ති පෙරේරා සමගය. ඇයද 1971 මැයි 18 අත්අඩංගුවට පත් වී 1977 දී නිදහස් විය. මහරගේ පසුව එස්. බී. දිසානායක ඇමැතිවරයා යටතේ සේවය කළේය.


මහ නඩුවේ 9 වැනි විත්තිකරු වූ සෝමසිරි කුමානායක ඇල්පිටියේ උපන්නෙකි. 5 ගෙන් යුත් පවුලක වැඩිමලා වූ ඔහු ජවිපෙට එක්වූයේ 1967 පේරාදෙණියේ උපාධි අපේක්ෂකයකු වශයෙන් සිටියදීය. පියා වත්තක කංකානම්වරයෙකි. ජනතා විමුක්ති පුවත්පතේ මුල් කලාප තුනම භාරව සිටියේ ඔහුය. අප්‍රේල් 5 රාත්‍රී 11.30 ට 30 දෙනෙකු සමඟ ගොස් කඩවත පොලිසියට ප්‍රහාරය එල්ල කළේය. එහිදී මාබෝලේ එම්. මිල්ටන් ප්‍රනාන්දු මිය ගියේය. 


රහස් පොලිසියේ ජෙගදාසන් ගේ නිවසටම ගොස් 1971 අගෝස්තු 8 කුමානායක භාර විය. රජයේ සාක්ෂිකරුවෙක් විය. වසර 1975 ජනවාරි 10 නිදහස් විය. 1976 දී ආවාහ වූයේ ලොකු අතුලගේ නැගණිය වූ බි්‍රයටි්‍රස් සමඟය. තිදරු පියෙකි.


වසන්ත ද සිල්වා කනගරත්න 10 වැනි විත්තිකරු වූ අතර ගාල්ල ඉමදූව උපන්නෙකි. මව කොළඹ නගර සභාවේ වින්නඹු සේවිකාවකි. ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජවිපෙට බැඳුණේ ප්‍රේමපාල මගිනි. කැරැල්ලේදී දකුණු කොළඹ වැල්ලවත්තේ සිට මොරටුව දක්වා නායකයා වූ ඔහු අප්‍රේල් 4 රාත්‍රී 9.30 ට ගාල්ල ඉමදූවේ සිය ආච්චිගේ නිවසට ගොස් අප්‍රේල් 26 දක්වා එහි ගත කළ අතර අප්‍රේල් 30 ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බසයෙන් යෑමේදී අසුවී කොන්දොස්තර විසින් පානදුර පොලිසියට භාර දෙන ලදී. වසන්ත කනකරත්න බිල්ලෙකු බවට පත් කරමින් පොලිස් නිල ඇඳුමක් අන්දවා පසුව පොලිස් කොස්තාපල්වරු පිරිසක් සමග ඔහු යාපනයේ හැමන්හිල් බන්ධනාගාරයට ගෙන ගියේය. බන්ධනාගාරයේ තාප්පය උඩ සිටි වසන්ත කනකරත්න ගෙන ආ සැකකරුවන්ගේ ව්‍යාජ නම් වෙනුවට සත්‍ය නාමයන් පොලිසියට ලබා දෙමින් කැරලිකරුවන් හඳුනා ගැනීමට ආරක්ෂක අංශවලට සහාය විය. පසුව වසන්ත සර්වෝදයට සම්බන්ධ විය. රත්මලානේ පදිංචිව සිටියදී ඔහු ජීවිතයෙන් සමුගත්තේය.


මහ නඩුවේ 11 වැනි විත්තිකරු වූ ඬේවිඞ් අබේවික්‍රම (ඩී. ඒ.) ගුණසේකර කලක් සමසමාජයේ සිටි 43 හැවිරිදි අත්දැකීම් සහිත වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. අප්‍රේල් 5 නියමිත කාර්යභාරයක් ඔහුට නොවූ අතර සැඟවී සිටියදී 1971 මැයි 3 වැල්ලවත්ත රෙදිමෝල අසලදී පොලිස් අත්අඩංගුවට පත් විය. 1974 නොවැම්බර් 20 දින ඔහු නිදහස් වූයේ නිදහස් වූ පළමු විත්තිකරු වශයෙනි. ඔහු සක්‍රීය දේශපාලනයේ නොයෙදුණු අතර 2014 දී ජාඇළ දී දිවියෙන් සමුගත්තේය.


දේවහන්දි (ටී. ඩී.) දිනිඳුමිත්‍ර සිල්වා 12 වැනි විත්තිකරු වූ අතර ප්‍රහාරයේ වේලාව සනත් විසින් ඔහුට දැනුම් දුන්නේ අප්‍රේල් 4 සවස 2 ට බාලාතම්පෝගේ නිවසේදීය. කුමානායක අප්‍රේල් 5 ප්‍රහාරයට ටී. ඩී. සිල්වා කැඳවාගෙන යෑමට එඬේරමුල්ලේ නිවසට නොපැමිණි බැවින් අම්බලන්ගොඩ කහවේ අප්‍රේල් 18 තෙක් ගතකර මැයි 16 කොළඹ දිසාපතිට ඔහු භාර විය. රජයේ සාක්ෂිකරුවෙක් විය. වසර 1975 ජනවාරි 10 නිදහස් විය. නිදහසින් පසුව සක්‍රිය දේශපාලනයට යොමු නොවුවද සිය බෑනා වූ ලොකු අතුල සමගින් අවස්ථානුකූලව දේශපාලනයේ නිරත විය. දැනට ජීවතුන් අතර නොමැත.


දහතුන් වැනි විත්තිකරු වූ පටබැඳිගේ දොන් නන්දසිරි හෙවත් රෝහණ විජේවීරට 1971 අප්‍රේල් 5 වන විට වයස අවුරුදු 28 කි. තංගල්ලේ දිළිඳු පවුලක 1943 ජූලි 14 උපන් විජේවීර ගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි.

 

 

 


මතු සම්බන්ධයි.