(සංවාද සටහන-බිඟුන් මේනක ගමගේ)

ලාංකේය සමාජ ක‍්‍රමය ඓතිහාසිකවම පීතෘමූලිකය. මේ නිසා ලාංකික කාන්තාවගේ භූමිකාව එක්තරා රටාවකට පෙළගැසී ඇත.ඇතැමුන් මෙය අර්ථ දක්වන්නේ පවුල් සංස්ථාව තුළ කාන්තාව අසරණව සිටිතැයි කියාය. එහෙත් මා දකින ආකාරයට නම් මෙරට පවුල්  සංස්ථාව තුළ ස්ත‍්‍රියට ප‍්‍රමුඛතාව ලැබී ඇත. විශේෂයෙන්ම තීන්දු තීරණ ගැනීමේදී මවට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි.

දරුවන් පවා බොහෝ තීන්දු ගැනීමට ප‍්‍රථමයෙන් අවවාද අනුශාසනාව අපේක්ෂා කරන්නේ පියාගෙන් නොව මවගෙනි. තීරණාත්මක තීන්දු ගන්නා බොහෝ අවස්ථාවල ස්වාමියා සහ බිරිඳ සහසංවාදයකින් එම කටයුත්ත සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයයි. මවගේ යම් පසුබෑමක් පවුල් සංස්ථාව තුළ වේ නම් ඒ බොහෝවිට ආර්ථිකමය තීන්දු ගැනීමේදීය.

එය සිදුවන්නේ ද පවුලේ හරිහම්බ කරන තැනැත්තා පියාය යන ජනප‍්‍රිය තර්කනය නිසාය. අධ්‍යාපන අයිතිවාසිකම්, අදහස් ප‍්‍රකාශ කිරීම හා මූලික අයිතිවාසිකම්වලදී දකුණු ආසියානු කලාපයේ සාපේක්ෂව අප සිටින්නේ ඉදිරියෙනි. ප‍්‍රශ්නය වූයේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙනි. ලංකා පාර්ලිමේන්තුව කාලයක් තිස්සේම බහුතරය නියෝජනය වූයේ පුරුෂයන්ගෙනි. මෙහි අවාසිය වූයේ ස්ත‍්‍රීන්ගේ සංවේදී කාරණා අළලා සිදුකළ යුතු ව්‍යවස්ථා සම්පාදනයන්ට වැඩි බරක් තබා කටයුතු කිරීම සිදු නොවීමයි. මේ නිසා දේශපාලන පක්ෂවල නාම යෝජනා ලබාදෙන තැන පටන් ඇයට සිදුවූයේ දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමටය.

දේශපාලන ක්ෂේත‍්‍රයෙහි ලාංකික කාන්තාව මෑතකාලයේ අත්පත් කරගත් හොඳම ජයග‍්‍රහණය හැටියට 2016 අංක 1 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත හැඳින්විය හැකිය.

පළාත් පාලන ආයතනයන්හි නියෝජනයෙන් සියයට 25 ක පංගුවක් (කෝටාවක්) කාන්තාවට ලබාදීම මෙම පනතින් සිදුවේ. එම පනත නිසා කාන්තාවන්ට දේශපාලන අවස්ථා ත‍්‍රිත්වයක් ලැබී ඇත. කෝටාවට අමතරව කොට්ඨාසයෙන් තරග කිරීමේ අවස්ථාවත් සමානුපාතික ලැයිස්තුවත් සෙසු අවස්ථා වේ. සරලව කිවහොත් පුරුෂයන්ට වඩා වැඩි අවකාශයක් පළාත් පාලන පනතින් විවර වී ඇත.

ප‍්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා යනු මිනිසුන්ට උපතේ සිට මරණය තෙක්ම බිම් මට්ටමින්ම සේවා සපයන ආයතනයි. ලංකාවේ ජනගහනයෙන් බහුතරය කාන්තාවෝය. මාතෘ සායන, පෙර පාසල්, පෝෂණ වැඩසටහන්, ආයුර්වේද ප‍්‍රතිකාර ආදී වශයෙන් කාන්තාවට සුවිශේෂී සේවා සැපයෙන පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය වැඩිවීමේ වාසිය කාන්තාවන්ටමය.

 උදාහරණයකට ගතහොත් ඇතැම් පළාත් පාලන ආයතනවල පවතින වැසිකිළි තිබෙන්නේ මාතෘ සායනවලට පැමිණෙන ගර්භනී කාන්තාවන්ට පාවිච්චි කළ හැකි මට්ටමක නොවේ. එහෙත් කාන්තාවක නොවන අයකුට මෙය සංවේදී ප‍්‍රශ්නයක් බව හැඟෙන්නේ නැත. එවැනි අවස්ථාවක එහි ඇති දුෂ්කරතාව සන්නිවේදනයට බොහෝ කාන්තාවෝ ඉදිරිපත් වන්නේ ද නැත. මෙවැනි සංවේදී වැඩකටයුතුවලදී තීරණ ගන්නා බලධරයා හැටියට කාන්තාවක සිටින්නේ නම් එය පොදුවේ කාන්තා වර්ගයාටම පහසුවකි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිකිරීමේ වටිනාකම දැනෙනු ඇත්තේ මෙවැනි අවස්ථාවලදීය.

ලංකාවේ දේශපාලනයෙහි වංචා දූෂණ හා මූල්‍ය අවභාවිතා යනු නිසර්ග ලක්ෂණයක්ව තිබේ. මහජන බදු මුදල් අපහරණයට දේශපාලකයන් දක්වන නිර්භයකම විශාල ප‍්‍රශ්නයකි. එහෙත් සාපේක්ෂව ගත්කල සොරකමට පුරුෂයාට සාපේක්ෂව ස්ත‍්‍රිය දක්වන බිය වැඩිය. මේ නිසා ද මහජන නියෝජිතවරියන් වැඩි වැඩියෙන් බිහිවීමේ තවත් පලදායක පැත්තක් ඇත.

මහජන බදු මුදල් වැඩි වශයෙන් භාවිත වන පළාත් පාලන ආයතනවල තීන්දු තීරණ ගැනීමේදී සැලකිය යුතු කාන්තා නියෝජනයක් තිබීම මෙවැනි කරුණුවලින් තවත් අර්ථගැන්වේ. සියයට සියයකින්ම නොවෙතත් දේශපාලන ආයතන තුළ සිදුවන දූෂණ අක‍්‍රමිකතා යම් ප‍්‍රමාණයකින් හෝ අවම කරගැනීමට මහජන නියෝජනයෙහි මෙම නව සංයුතිය හේතුවනු ඇති බව මගේ විශ්වාසයයි.

දේශපාලනයෙහි කාන්තා නියෝජනය ගැන කතාකිරීමේදී ආසන්න කාලයේදී අපට දැකීමට ලැබුණු උත්ප‍්‍රාසජනක කාරණා බොහෝය. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණවලට ජනප‍්‍රිය කාන්තා චරිත අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් කිරීමට ප‍්‍රධාන දේශපාලන පක්ෂවලින් යම් සූදානමක් තිබෙද්දී ඔවුන් ඉලක්ක කරගත් ප‍්‍රහාර පැමිණියේ පක්ෂ අභ්‍යන්තරයෙන්මය.

එහෙත් දැන් පළාත් පාලන ආයතන නියෝජනයේ නිශ්චිත පංගුවක් කාන්තාවන්ට ලැබීම නීතියෙන්ම අනිවාර්ය කර ඇත. මෙවර ප‍්‍රශ්නය වී තිබෙන්නේ මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සැකැසීමේදී ඒවාත් දේශපාලන පවුල්වලටම සින්නවේද යන්නයි. මේ සැකය සාධාරණය.

ඊට හේතුව අඩසියවසකට එහා ගිය ලංකා මැතිවරණ ඉතිහාසයෙහි සිදුව ඇත්තේම එය වීමයි. එහෙත් දැන් තරග කරන්නට සිදුවන්නේ කොට්ඨාසයකටය. දේශපාලනයෙහි නව ප‍්‍රවණතාව වී ඇත්තේ දේශපාලන පක්ෂ පරයමින් පුද්ගලයන් ඉස්මතුවීමය. මේ නිසා තමන්ගේ කෙනකුට නාම යෝජනා ලබාදීමට වඩා ජනප‍්‍රිය චරිතයකට නාමයෝජනා දීම ගැන දේශපාලන පක්ෂවලට සිතන්නට සිදුවේ. අනෙක් අතට මෙහි ප‍්‍රතිපක්ෂයක් ද තිබේ. එනම්, පියා හෝ ස්වාමියා දේශපාලකයකු වීම නිසාම දේශපාලන පසුබිමක් සහිත කාන්තාවන් දේශපාලන පිටියෙන් ප‍්‍රතික්ෂේප කිරීමේ තාර්කිකභාවයක් තිබේද යන්නයි. සාමාන්‍ය සමිති සමාගම්වලට නායකත්වය දෙන කාන්තාවන්ට වඩා ඇතැම් අවස්ථාවල දේශපාලන තීන්දු ගැනීමේදි ඒවායේ ඇති බරපතළකම මෙවැනි දේශපාලන පසුබිමක් සහිත කාන්තාවෝ දකිති. එය සිදුවන්නේ ඔවුන්ගේ ආභාෂයෙනි. එවැනි ඇතැම් චරිතවලට දේශපාලනය මත්ස්‍යන්ට ජලය මෙනි. ඔවුහු දේශපාලනයෙහි ඉතා උද්‍යෝගයෙන් ක‍්‍රියාත්මක වෙති. එය සාධනීයය.

සමාජයේ පහළම තැන සිට ඉහළම තැන දක්වා කාන්තාව පොදුවේ මුහුණ පාන තවත් පීඩාකාරී කරුණක් වන්නේ ලිංගිකමය වශයෙන් ඇයට පුරුෂ සමාජයෙන් එල්ල වන පීඩනයයි. බස් රියේ දුම්රියේ පාර තොටේ පටන් රටේ නීති සම්පාදනයෙහි උත්තරීතරම යැයි කියන පාර්ලිමේන්තුව දක්වාම එය විහිදී තිබීමෙන් මේ පීඩනයේ තරම සිතාගතහැකිය.

පාර්ලිමේන්තුවේ කාන්තා මහජන නියෝජිතවරියන්ට එල්ල වන ලිංගික බලපෑම් පසුගියදා ලෝක පරිමාණයෙන්ම ප‍්‍රසිද්ධියට පත් වූ අතර මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් ද ඊට අදහස් දක්වා තිබිණ. මේ තත්ත්වය එක අතෙකින් ශෝචනීය වන මුත් වෙනසක් කිරීම වෙනුවෙන් කාන්තාවන් හැටියට එම නියෝජිතවරියන් නොබියව ඉදිරියට පැමිණීමම විශිෂ්ටය.

තමන්ට හිරිහැරයක් අසාධාරණයක් වන සෑම අවස්ථාවකදීම කාන්තාවන් කතා කළ යුතුය. අසාධාරණකම් පිටුදැකිය හැක්කේ එවැනි කරුණු හැකි තරම් සමාජගත කිරීමෙනි. ඊට එරෙහිව සමාජ මතයක් නිර්මාණය කිරීමෙනි. බොහෝ එවැනි තැන්වලදී පුරුෂයන් පිළිකුල්සහගත ලෙස වාසියට ගන්නේ කාන්තාවගේ මුනිවතයි.

එහෙත් දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් තත්ත්වය වෙනස්වන්නට පටන්ගෙන තිබේ. කාන්තාවන් මුනිවත බිඳීමට සූදානම් වීම යහපත් වෙනසකි. අසාධාරණකම් සිදුවන බොහෝ තැන්වලදී කාන්තාවගේ නිහඬබව පසුපස ඇති ප‍්‍රධාන හේතුව නම් තනිවීමයි. මේ නිසා සහෝදර ස්ත‍්‍රියකට සිදුවන අසාධාරණයකදී දෙතුන් දෙනෙකු හැටියට හෝ සාමූහික හඬක් නැඟීමට හැකි නම් සෑම තැන රජ කරන අයුක්තිය පරාජය කිරීම අපහසු නැත. එනිසා හැකි සෑමවිටම සමූහයක් හැටියට පෙනීසිටිය හැකි නම් එය ඉතා අගනේය.

පරිපාලන ක්‍ෂේත‍්‍රයෙහි ද මේ වනවිට ලාංකික කාන්තාව සිටින්නේ ජයකෙහෙළි නන්වමිනි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප‍්‍රධාන පෙළේ තනතුරු රැසක්ම අද වනවිට කාන්තාවෝ උසුලති. මේ වෙනසේදී සාම්ප‍්‍රදායිකව කාන්තාවට වෙන්කර දුන් වෘත්තිය භූමිකාවලට අභියෝග කරමින් ඉදිරියට පැමිණි චරිත රැසක් දැකියහැකිය. එහෙත් රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය සිදුවන්නේ වැඩවසම් අදහස් මුල්කරගෙනදැයි අපට සැකයකි. මල් වැවීම, මැහුම් ගෙතුම් හා කේක් සෑදීම වැනි සාම්ප‍්‍රදායික රැකියා ඉලක්ක කරගත් පාඨමාලා සම්පාදනය වන්නේ ඒ නිසාය.

මෙයට මූලික හේතුව වී තිබෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි නිරත බොහෝ පිරිස් යල්පැන ගිය හණමිටි අදහස්වලින් යුක්ත අය වීමය. ඇත්තවශයෙන්ම ප‍්‍රතිපත්ති සම්පාදනයෙහි අතිබහුතරය තවමත් පිරිමිය. කොටින්ම පසුගිය රජය සමයේ කාන්තාව වෙනුවෙන් පවතින එකම තැන වූ කාන්තා කටයුතු අමාත්‍යංශයේ විෂය බාර ඇමැතිකම හිමිවූයේද පිරිමියකුටය. අනෙක් අතට ඒ තැන්වල සිටින කාන්තාවෝ ද ඒ තරම් නිර්මාණශීලී නැත. රාජ්‍ය ප‍්‍රතිපත්ති සකසන්නන් එසේ එක තැන පල්වෙද්දී ලාංකික කාන්තාව ස්වාධීන ව්‍යවසායිකාවන් හැටියට ඉදිරියට පැමිණීම දැන් අපට දැකිය හැකිය. එය යහපත් ප‍්‍රවණතාවකි. විදාතා මධ්‍යස්ථාන මගින් ගමට තාක්ෂණය ගෙනයන වැඩකටයුතුවලට මම ද සම්බන්ධ වූයෙමි. තාක්ෂණය ඉතා ඉක්මනින් ග‍්‍රහණය කරගනිමින් වෙළෙඳපොළ අත්පත් කරගැනීමට අපේ කාන්තාවට ඇති හැකියාව ගැන මම සාක්ෂි දරමි. තාක්ෂණයත් දැනුමත් දියහැකි නම් ඉතිරි වැඩ ටික කරගැනීමට අපේ කාන්තාවට හොඳ හැකියාවක් ඇති බව ස්ථිරවම කිව හැකිය.

එහෙත් ප‍්‍රශ්නය වී ඇත්තේ පෙර කී පරිදිම තීන්දු තීරණ ගන්නා තැන්වල සිටින ස්ත‍්‍රීන් නිර්මාණශීලී නොවීමය. මේ නිසා ලෝකය පෙරට යද්දී ලංකාව එක තැන සිරව සිටින තත්ත්වයක් මතුව තිබේ.

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේදී කාන්තා සංවිධානවලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඔවුන්ගේ හඬ නැඟීම් නිසාම ජයග‍්‍රහණ අත්පත් කරගත් අවස්ථා තිබේ. එහෙත් මේ වනවිට කාන්තා සංවිධාන සම්බන්ධයෙන් ද සමාජයේ බරපතළ විවේචනයක් මතුව තිබේ. මූලික විවේචනය එන්නේ ඒවා කොළඹ කේන්ද්‍රීය පදනමකින් යුක්තවීමය. සියයට සියයක් නොවුණ ද යම් ප‍්‍රමාණයකින් මම ද ඊට එකඟ වෙමි. කාන්තා අයිතින් සඳහා වූ වැඩමුළු වැඩසටහන් රැසක් සම්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

ඒ බොහෝ සංවිධාන කේන්ද්‍රගත වන්නේ අගනුවරටය. එවැනි ඇතැම් සංවිධානවල නිත්‍ය සාමාජිකයන් බවට පත්ව සිටින කාන්තාවෝ වෙති. ලංකාවේ කොතැනක වැඩක් කරන්න ගියත් මේ නිත්‍ය සාමාජිකාවන් පෙරට පැමිණෙන අතර මේ නිසාම ග‍්‍රාමීය කාන්තා චරිත ඉස්මතුවීම වැළැකී යයි. එහි ප‍්‍රතිඵලය වන්නේ නිත්‍ය සාමාජිකාවන්ට එය තවත් රැකියාවක් වෙද්දී කාන්තාවගේ පොදු පිබිදීම නම් මූලික අරමුණ යටපත්වීමයි. පසුගිය කාලයක් තිස්සේ එවැනි වැඩමුළුවලට සහභාගී වූ කාන්තාවන්ගේ පිළිබඳ දත්ත සොයාගැනීමට හැකි නම් මේ කරුණ පහසුවෙන් තේරුම් යනු ඇත.

ඇතැම් සංවිධානවලින් මා එම දත්ත ඉල්ලා සිටිය ද ඔවුන් සතුව එවැනි දත්ත් පද්ධතියක් නොවූ බව කියැවිණි. එහෙත් ඇත්ත නම් එවැනි හෙළිදරව් කිරීමකින් සිදුවන්නේ මෙවැනි වැඩසටහන්වල සැඟවුණු න්‍යාය පත‍්‍ර සමාජයට නිරාවරණය වීමය. කොළඹ කේන්ද්‍රීය සංවිධාන ව්‍යුහයකින් කිසිදා පොදු ලාංකික ගැහැනියට ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට බැරිය. කාන්තාවන් සවිබලන්ගන්වන්නෙමැයි කියමින් රාජ්‍ය නොවන සංවිධාන රට පුරාම දුවන ආකාරය පසුගිය කාලය තිස්සේම අපට දැකිය හැකිය. එසේ පුහුණු කළ පිරිස් කවුදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ කවුරු හෝ විමසුවහොත් යථාර්ථය පසක් වනු ඇත. කාන්තාවන් වෙනුවෙන් වෙන්වන මුදල් කඳු අපතේ යන ආකාරය දැකීමට පවා කනගාටුදායකය. තරු පහේ හෝටලයකට ගෙන්වා කෑමෙන් බීමෙන් හොඳට සප්පායම් කර දේශපාලනය ගැන තරමක් කතා කළවිට සැසිය හමාරය.

ලාංකික කාන්තාවගේ ශෝචනීය ඉරණම පැහැදිලි කරන තවත් පිරිසක් නම් යුද වැන්දඹුවෝය. තිස් වසක යුද්ධයේ සෘජු ප‍්‍රතිපලයක් වූ මේ පිරිස උතුරටත් දකුණටත් පොදු යථාර්යකි. එයට දෙමළ සිංහල කියා භේදයක් ද නැත. එහෙත් රටක් හැටියටත් ආණ්ඩු හැටියටත් මේ ප‍්‍රශ්නයට අප කොතරම් සංවේදී ද යන්න ප‍්‍රශ්නාර්ථයකි. අවම මට්ටමින් ගතහොත් මේ පිරිස් පිළිබඳ හරිහමන් දත්තවත් තිබේදැයි යන්න සංකාකූලය. උදාහරණයකට අපේ කාන්තා කටයුතු අමාත්‍යංශයටම කෙටි ප‍්‍රශ්නයක් හැටියට මෙය ඉදිරිපත් කළහොත් ඔවුහු නිරුත්තරය. හරිහමන් විස්තරයක් දන්නේ නැත. ආරක්ෂක අමාත්‍යංශයෙන් හරිහමන් විස්තරයක් ගැනීම ඉතාම දුෂ්කරය. මේ නිසා ඔවුන්ගේ වර්තමානයත් අනාගතයත් ගැන නිවැරැදි තීන්දු ගන්නේ කෙසේද? යුද්ධයෙන් විපතට පත්වූ කාන්තාවන්ට උදවු කිරීමට පිහිටුවාගත්ත් යැයි කියන සංවිධාන විශාල සංඛ්‍යාවක් මේ රටේ තිබේ. එහෙත් වින්දිත ස්ත‍්‍රීන්ට මහන මැෂිමක තරමක යමක්වත් ඇතැම් සංවිධානවලින් ලැබී නැත. මේ සංවිධාන යැපෙන්නේ අපේ රටේම අහිංසක මිනිසුන්‍ගේ අසරණකම මතය. එනිසා එවැනි සංවිධානවලට මුදල් ලැබෙන්නේ කෙසේද ඔවුන් ඒවා භාවිත කරන්නේ කෙසේද කියා ජනමාධ්‍ය සොයාබැලිය යුතුය.

කිරි කැපීමේ, දළු නෙළීමේ පටන් ඉහළ තල දක්වාම ලංකාවේ ජාතික ආර්ථිකයට ලාංකික ස්ත‍්‍රිය දක්වන දායකත්වය අපරිමාණය. අමිලය. විශේෂයෙන්ම අදටත් විදේශ විනිමයෙන් වැඩි පංගුව සම්පාදනය කරන්නෝ විදෙස්ගත ශ්‍රී ලාංකික කාන්තාවෝය. මේ සම්බන්ධයෙන් ද දේශපාලන වේදිකාවල මැතිවරණ කාලයේදී කතාබහට ලක්වේ. ඇතැමුන් මේ ගැන කතාකරන්නේ වැරැදි තර්ක මත පිහිටාය. උදාහරණයකට ගතහොත් ඇතැම්හු කාන්තාව පිළිබඳ සංස්කෘතික දෘෂ්ටි මත පිහිටා මුදල් උපැයීමේ කටයුත්තට දායක වීම ගැන කතා කරති.

එහෙත් මේ ගැන අප විමැසිය යුත්තේ පුළුල් මනසකිනි. උදාහරණයකට තායිලන්ත ජාතික ආර්ථිකය රඳාපවතින්නේ ද කාන්තාවන් මතය. පිලිපීනයේ ද එසේය. පවුල් සංස්ථාව බිඳවට්ටවාගෙන කෙසේ හෝ මුදල් උපැයිය යුතු යැයි මම නොකියමි. සිදුවිය යුත්තේ ආර්ථික දායකත්වයට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමය. විදෙස්ගත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සීමා කිරීම ගැන රාජ්‍ය ප‍්‍රතිපත්ති මට්ටමින් පසුගිය කාලයේ කතාබහක් ඇති විය. එහෙත් මේවා කියන තරම් පහසු නැත. ඒ වෙනුවට කිසිදු ආදේශකයක් පෙනෙන තෙක් මානයක නැත.

ස්ත‍්‍රිය සම්බන්ධයෙන් බලපාන තවත් ප‍්‍රබල සාධකයක් වන්නේ ජනමාධ්‍යයයි. සමාජයේ ප‍්‍රසිද්ධ කාන්තා චරිත ඉලක්ක කරගත් මාධ්‍ය භාවිතය වෙළෙඳපොළ සාධකයක් බවට දැන් පත්ව තිබේ. සත්‍යයෙන් තොර කටකතා පතුරවමින් සමාජ ජාල මාධ්‍ය මේ දිනවල කරන්නේ කාන්තා චරිත ඝාතනය කිරීමයි. බොහෝ අවස්ථාවල මෙවැනි අභූත චෝදනාවලට පිළිතුරු දෙන්නට අදාළ කාන්තාවෝ උත්සාහ කරන්නේ ද නැත. පිළිතුරු දුන්න ද හානිය සිදුව අවසන්ය.

රූපවාහිනි නාට්‍ය මගින් වුවද ප‍්‍රදර්ශනය කරන්නේ කාන්තා චරිතවල කළු පැත්තමය. මෙවැනි ටෙලිනාට්‍ය කලක් තිස්සේ නරඹන කුඩා දරුවකු පවා සිය මව හා සොයුරිය ගැන සිතනු ඇත්තේ කුමක් ද? රූපවාහිනිය අද සිදුකරන්නේ ස්ත‍්‍රිය පිළිබඳ සමාජ ප‍්‍රතිරූපය කුඩා කාලයේ පටන්ම විනාශ කරදැමීමය. මෙහි දිගුව වන්නේ වෙළෙඳපොළ තර්කනය තුළ කාන්තාව සිල්ලරට විකිණීමය. සබන් දැන්වීමට පුරුෂයකු යොදාගැනීමට බැරි බව ඇත්තය. කාන්තාව යනු ඇසට ප‍්‍රිය වස්තුවකි. එනිසා රූපය පිළිබඳ වාරණයක් අවශ්‍ය නොවේ. එහෙත් අද වනවිට විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයක් විකාශය කළ ද ටයර් දැන්වීමක් ප‍්‍රචාරය කළ ද කාන්තා කකුලක් නැතිව බැරිය. භාණ්ඩ විකිණීම අස්සේ කාන්තාව ද වෙළෙඳ භාණ්ඩයක් බවට ඌණනය කර තිබේ. අතීතයේදී භාණ්ඩ ප‍්‍රචාරණයට යම් ආචාර ධාර්මික සීමා පැවැතිය ද දැන් එවැනි සීමා මායිම් නැත. එය අද ලංකාවට පමණක් සීමා නොවූ ලෝක පරිමාණයෙන්ම කාන්තාව මුහුණ දෙන අභියෝගයකි.

-මාර්තු 12 ව්‍යාපාරයේ කමිටු සාමාජික සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදයේ ප‍්‍රධාන විධායක නිලධාරිනි හේමන්ති ගුණසේකර