නීතිඥ එස්. ටී. ජයනාග

පසුගිය මාස කිහිපයක සිට කවර කලකවත් නොදුටු තරම් උද්ඝෝෂණ රැල්ලක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙන බව දක්නට ලැබේ. උද්ඝෝෂකයන් මින් පෙර නොවිඳි අපූරු නිදහසක් අත්විඳින බව ඔවුන්ගේ හැසිරීමෙන්ම පෙනේ. සාමකාමී රැුස්වීමේ නිදහස හා සමාගමයේ නිදහස අප රටේ දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 20 වැනි ව්‍යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. උද්ඝෝෂණය කිරීමේ නිදහස ද රැස්වීමේ නිදහසේම දිගුවකි. ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති මෙම නිදහස උද්ඝෝෂකයන් නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදනු දක්නට ලැබේ.

අද පැවැත්වෙන බොහෝ උද්ඝෝෂණ දෙස බලන විට හැඟී යන්නේ ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්ම ඒවා සංවිධානය කර ඇති බවයි. සෑම උද්ඝෝෂණයකම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය නම් ජනතාව පීඩාවට පත්වීමයි. උද්ඝෝෂකයන්ගේ මෙම ක‍්‍රියාකලාපය ජනතාවගේ උදහසට ලක්වී ඇති බව ඔවුන්ට නොපෙනෙන්නේ නම් එය පුදුමයකි.

උද්ඝෝෂකයෝ සිය ඉල්ලීම් පිළිබඳව ජනතාවත්, පාලකයිනුත් දැනුවත් කිරීමට උද්ඝෝෂණය යොදා ගනිති. ඔවුන් ජනතාව දිනා ගත යුතුය. කිසියම් අයිතියක් ඉල්ලා සිටින්නා තවකෙකු සතු අයිතිය උදුරා නොගත යුතුය. ඒත් අද සිදුවන්නේ කුමක්ද? අප රටේ උද්ඝෝෂණ දෙස බලන විට පෙනී යන්නේ, උද්ඝෝෂකයන්ගේ ඒකායන අරමුණ මහජනතාව පීඩාවට පත් කිරීමයි. ජනතාව පීඩාවට පත් වීමෙන් උද්ඝෝෂකයන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දීමට ජනතාව රජයට බල කරනු ඇතැයි උද්ඝෝෂකයන් අපේක්ෂා කරන බවක් පෙනේ. මෙය අමනෝඥ වූ මිත්‍යාවකි. මෑතක සිට උද්ඝෝෂකයන්ගේ ක‍්‍රියාවන්ගෙන් පීඩා විඳින්නා වූ ජනතාව උද්ඝෝෂණ පිළිබඳ දරන්නේ පිළිකුල් සහගත වූ ද, අප‍්‍රිය වූ ද, නුරුස්නා වූ ද මතයකි. මෙම උද්ඝෝෂකයන් විසින්ම ජන විඥානය තුළ ඇති කරන ලද්දකි. එවන් ජනමතයක් ඇතිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකරය. උද්ඝෝෂණය කරන්නන් ද මෙය තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත් උද්ඝෝෂකයන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙනු ඇත. එවිට ජනතාව විසින් නීතිය අතට ගනු ලැබේ. එවැන්නක් සිදු වීමට ප‍්‍රථම උද්ඝෝෂණ කිරීමේ අයිතිය යහපත් ලෙස භාවිත කිරීමටත්, එය ක‍්‍රමානුකූලව ජනතාවට ගැහැටක් නොවන ආකාරයට භාවිත කිරීමටත්, හැකි වන අයුරින් නීති සම්පාදනය කළ යුතුය.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය, අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරුණු භික්ෂුවක් රක්ෂණභාරයට පත් කළේය. ඒ අවස්ථාවේ කහ සිවුරු පැළඳගත් පිරිසක් හැසිරුණු විලාසය මහජනතාව කලකිරීමෙන් සහ පිළිකුලෙන් බලා සිටියහ. මෙම මැරයෝ නිර්මල වූ බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්තය වන මෛත‍්‍රිය පසෙක තබා විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට සහ පොලිසියට නිර්දය ලෙස බැණ වැදුණහ. හෝමාගමදී සිදුවූයේ නීතියේ ආධිපත්‍යය අභියෝගයකට ලක් කිරීමයි. ඒ සඳහා උද්ඝෝෂණය කිරීමේ අයිතියක් තිබිය යුතු ද? රැස්වීමේ නිදහස සඳහා සීමාවන් නොතිබිය යුතු ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් එක්තරා පිරිසකට මහජනතාව පීඩාවට පත් වන ආකාරයට රැුස්වීමේ නිදහස පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු ද? නිදහසේ නාමයෙන් රටේ පවත්නා නීති කැඞීමට ඉඩ හැරිය යුතු ද? කොටින්ම කිවහොත් උද්ඝෝෂකයන්ට වල්බූරු නිදහසක් තිබිය යුතු ද?

අලූත්ම සිද්ධිය නම් දකුණු ආසියානු තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයට (සයිටම්) එරෙහිව වෛද්‍ය ශිෂ්‍යයන් යැයි කියා ගත් පිරිසක් කොටුවේදී පැවැත් වූ උද්ඝෝෂණයයි. මෙහිදී ඉතා අශෝභන සිද්ධීන් දක්නට ලැබුණි. භික්ෂුන් වහන්සේ වැන්නන් ද ඒ අතර වූහ. උද්ඝෝෂකයෝ පොලිස් අණ නොතකා ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළහ. පොලිස් බාධක පෙරලූහ. කිසිවක් කර කියා ගත නොහැකි වූ පොලිසිය ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකයන් විසුරුවා හැරියේය. පසු දිනෙක උද්ඝෝෂකයන්ට පක්ෂව රජයේ වෛද්‍යවරුන් වරුවක් වැඩ වරන ලදී. මෙම උද්ඝෝෂණයේ දිගු තවදුරටත් විවිධාකාරයෙන් සිදු වෙමින් පවතී.

සයිටම් ආරම්භ කළේ පෙර පැවැති රාජපක්ෂ රජයයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම එය උපාධි ප‍්‍රදානය කළ හැකි ආයතනයක් ලෙස 2011 අගෝස්තු මාසයේදී පිළිගත්හ. රජයේ සියලූම වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන් විසින් මෙම ආයතනය පිළිගන්නා ලදී. සයිටම් ශිෂ්‍යයන්ට සායනික පුහුණුව සඳහා අවිස්සාවේල්ල සහ හෝමාගම රජයේ ආරෝග්‍යශාලා රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතුව උසස් කරන ලදී. හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව සයිටම් ආයතනයේ සිසුන් 10 දෙනකුට 2013 වසරේදී ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී. මේ සියල්ල සිදුවෙද්දී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මුනිවත රැක්කේය.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වෛද්‍ය උපාධි පිරිනැමීමට සූදානම් වුණි. මෙය ද මුදල් අය කරන ආයතනයකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිම පැකිළීමකින් තොරව මේ සඳහා ඔවුන්ගේ අවසරය ලබා දුන්නේය. එම සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ජයවර්ධනපුර රෝහලේදී ලබාදීමට මාර්ග සැලසුණි. වෛද්‍ය සභාවේ සමහරුන්ගේ ප‍්‍රකාශ කුහක දිව දෙකක ප‍්‍රකාශ බව පැහැදිලිවම පෙනුණි.

වැරදි ලෙස කරනු ලබන උද්ඝෝෂණවලින් වැරදි දේ මනස්ගත කළ හැක. ප‍්‍රචණ්ඩ වූ දිසානතියකට උද්ඝෝෂණ ගමන් කරනු පෙනේ. ඔවූහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ඔවුන්ගේ නිදහස අවභාවිත කරති. දැන් දැන් ඔවුන් වල්බූරු නිදහසක් භුක්ති විඳින බවක් පෙනේ. බොහෝ උද්ඝෝෂණ යටි අරමුණ ඇතුව සැකසුණු බව ද දක්නට ලැබේ. උද්ඝෝෂකයන් දේශපාලකයන්ගේ අතකොලූ බවට පත්වී තිබෙන්නේදැයි  සැකයක් මතුවේ. රැුස්වීමේ නිදහස අසීමිතව භාවිත කළ නොහැක. කිසියම් නිදහසක් රසවිඳින්නා  තවකෙකුගේ නිදහසට බාධා නොකළ යුතුය.

පසුගිය දෙවසර තුළ, නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ද මහ ජනතාව මහත් පීඩාවට පත් කරමින් ද උද්ඝෝෂණය කරනු ජනයා පිළිකුල් සහගතව බලා සිටියහ. උද්ඝෝෂකයෝ පාරවල් වසා දැමූහ. ගිලන් රථවලට පවා මාර්ගය අවහිර කළහ. ඔවූහු අලජ්ජ ලෙස නීති උල්ලංඝනය කළහ. කොළඹ නගරයේ උද්ඝෝෂණ හැමවිටම ජනාධිපති මන්දිරයට හෝ අරලියගහ මන්දිරයට දක්කාගෙන යෑම සිරිතක්ව පෙනෙන්නට තිබුණි. ඉදිරියෙන් පොලිස් බාධක ඇති බව හොඳින්ම දැනගෙන ඉදිරියටම ගමන් කරමින් මාර්ග බාධක බිඳගෙන යෑමට උත්සාහ කිරීම සුලභව දක්නට ලැබුණි. මේ අවස්ථාවේ පොලිසියට ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් විදීම හැර වෙනත් කිසිවක් කරගත නොහැක. බොහෝ අවස්ථාවල පොලිසිය ද අසරණ වූ බව පෙනෙන්නට තිබුණි. බොහෝ උද්ඝෝෂණවල මතුපිටින් පෙනෙන දෙයට වඩා යටින් දේශපාලන අරමුණු ද, රජය අසීරුවට පත් කිරීමේ අභිලාෂය ද කැටිව තිබුණ බව පෙනුණි.

අපේ ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කළ හැකි විෂයන් ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් පෙළගස්වා තිබේ. ඒවා නම් 1. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, 2. වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම, 3. ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම, 4. ජාතික සෞඛ්‍ය සහ සදාචාර ආරක්ෂා කිරීම, 5. පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම හා වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත් විය යුතුය. මින් පෙනී යන්නේ ව්‍යවස්ථාවට අනුව පුළුල් ලෙස සමාජයේ පැවැත්ම රැක ගැනීම සඳහා අයිතිවාසිකම් සීමා කරන්නා වූ නීති පැනවිය හැකි බවයි. මෙම වගන්තියට අනුව ඉහත සඳහන් සීමා කිරීම් සඳහා පාර්ලිමේන්තුව නීති සම්පාදනය කළ යුතුය. මින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හැර අනිකුත් සීමා කිරීම් සඳහා අපේ රටේ සුවිශේෂිත වූ නීති සකස් වී නොමැත. වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා භාෂාව පිළිබඳ අමාත්‍යවරයාව සිටි යුගයේ ආගමික හා ජාතික සංහිඳියාව පලූදු වන ආකාරයට භාෂණයේ නිදහස පාවිච්චි නොකළ යුතු බවට පනතක් සම්මත කිරීමට උත්සාහ ගත් බව අපට දැන ගන්නට ලැබුණි. එහෙත් එවැනි පනතක් එළි දැක්වූයේ නැත.

අපරාධ නඩු විධාන සංග‍්‍රහයට අනුව ‘මහජන පීඩාවක්’ සිදුවන ආකාරයට උද්ඝෝෂණය නොකළ යුතුය. මහා මාර්ගයක් අවහිර කිරීම ‘මහජන පීඩාවකි’ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 100(1) වගන්තිය යටතේ හෝ 106(1) වගන්තිය යටතේ බාධාව වහාම ඉවත්කිරීමේ නියෝගයක් මහේස්ත‍්‍රාත්වරයකුට නිකුත් කළ හැකිය. නීතියේ එසේ සඳහන් වී තිබුණේ වුවද එය ප‍්‍රායෝගිකදැයි යන්න පිළිබඳ ගැටලූ පවතී. මහේස්ත‍්‍රාත්වරයකුට කරුණු දක්වා එවන් නියෝගයක් ලබා ගැනීමට පොලිසියට සෑහෙන කාලයක් ගතවනු ඇත. ප‍්‍රසිද්ධ මාර්ගයක් අවහිර කර ඇත්නම් එවන් නියෝගයක් ලබා පිරිස විසුරුවා හරින විට මාර්ගය භාවිත කරන්නන් මහත් සේ පීඩාවට පත්වී හමාරය. මීට අමතරව උද්ඝෝෂකයන්ගේ රැුස්වීම ‘නීති විරෝධි රැුස්වීමක්’ වන විට ඔවුන්ට විසිර යන ලෙස මහේස්ත‍්‍රාත්වරයකු විසින් හෝ උසස් පොලිස් නිලධාරියකු විසින් අණ කරනු ලැබිය හැකිය. ‘නීති විරෝධි රැුස්වීමක්’ යන්නෙන් අදහස් කරන්නේ පහත සඳහන් කරුණු පොදු පරමාර්ථය කරගෙන 5 දෙනකු හෝ වැඩි දෙනකු පවත්වන්නා වූ රැුස්වීමකි. එම කරුණු නම් 1. රජය පෙරළීම, 2. නීත්‍යානුකූල නියෝගයක් ක‍්‍රියාවේ යෙදවීමට විරුද්ධවීම, 3. යම් අනර්ථයක් හෝ වෙනත් සාපරාධී වරදක් සිදු කිරීම, 4. සාපරාධී බලහත්කාරයෙන් යම් දේශපාලන ස්වාමීත්වය ලබා ගැනීම හෝ මහජනයා භුක්ති විඳින ලද මහා මාර්ගයක අයිතියක් මහජනයාගෙන් පැහැර හැරීම, 5. සාපරාධී බලහත්කාරයෙන් කෙනකු හට වැරදි ක‍්‍රියාවක් කිරීමට බල කිරීම හා 6. ආයුධ පාවිච්චිය හෝ යුධ පුහුණුව ලැබීම.

බොහෝ උද්ඝෝෂණ ආරම්භයේදී සාමකාමී ස්වරූපයක් ගත්තේ වුවද පසුව ඒවා නීති විරෝධී රැුස්වීම් බවට පත්වේ. එවන් අවස්ථාවක අ.න.වි. සංග‍්‍රහයේ 8 වන පරිච්ෙඡ්දයට අනුව එම රැුස්වීම විසුරුවා හැරීම සඳහා පොලිසියට අවශ්‍ය බලය යෙදිය හැකි අතර එසේ නොකළ හැකි විට මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා බලය පාවිච්චි කර එය විසුරුවා හැරිය හැක. සිරභාරයට ද ගත හැක. මෙවන් අවස්ථාවලදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප‍්‍රහාර එල්ල කිරීම, කදුළු ගෑස් ගැසීම, රබර් උණ්ඩවලින් වෙඩි තැබීම හා බැටන් ප‍්‍රහාර එල්ල කරනු අපට දක්නට ලැබේ. මේ සියලූ ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කළ හැක්කේ උද්ඝෝෂකයන්ගේ රැුස්වීම නීති විරෝධී රැස්වීමක් වූ පසුවයි.

ව්‍යවස්ථාවෙන් පනවා ඇති ඉහත කී සීමා කිරීම්වල යම් යම් ඌණතා දක්නට ලැබේ. ප‍්‍රසිද්ධ ස්ථානවල සමූහ වශයෙන් කරනු ලබන උද්ඝෝෂණ මහජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් සිදුකළ යුතු බවට සීමා පනවා නොතිබීම, නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට හා සමස්ත අධිකරණ ක‍්‍රියාවලිය හෑල්ලූවට හා අවඥාවට ලක්වන ආකාරයට හෝ අධිකරණයට අපහාස වන ලෙසට උද්ඝෝෂණ කිරීමට ඉඩ නොතැබිය යුතුය. එසේ නොවන්නට නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙනු ඇත. එවිට ඇති වන්නේ අරාජික තත්ත්වයකි. මේ සියල්ලටම විසඳුම උද්ඝෝෂණ නියාමනය සඳහා නීති පැනවීමයි.

රැුස්වීම් සහ උද්ඝෝෂණ නියාමනය සඳහා අපේ රටේ ආවේණික වූ නීතියක් නොමැත. වෙනත් රටවල උද්ඝෝෂකයන් සිය උද්ඝෝෂණය පිළිබඳ බලධාරීන් දැනුවත් කළ යුතුය. එවන් අවශ්‍යතාවයක් අපේ රටේ නොමැත. එසේ හෙයින් උද්ඝෝෂණයන්ට අදාළ නීතියක අවශ්‍යතාව බෙහෙවින්ම පෙනෙන්නට තිබේ. නිදහස අවභාවිතයේ යෙදවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම ඉන් වළක්වා ගත හැක. එහෙත් එවන් නීතියක් සකස් කිරීම විරුද්ධ මතවාදීන් මර්දනය කිරීමේ පිළිවෙතක් ලෙස කෙනකුට තර්ක කළ හැක. එය වැරදි අදහසකි. මහජන විප්ලවයක් යනු එකකි. උද්ඝෝෂණය තවත් එකකි. මර්දනකාරී ආඥාදායක පාලකයකුට එරෙහිව ජනතා නැගී සිටීම උද්ඝෝෂණයක් නොවේ. එය කැරැුල්ලකි. මහජන විප්ලවයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක උද්ඝෝෂණ විප්ලවීය ස්වරූපයක් නොගත යුතුය. මෙහිදී උද්ඝෝෂකයන් පාවිච්චි කරනු ලබන්නේ නීතියෙන්ම ඔවුන්ට ලබාදී ඇති නිදහසයි. ඒ නිසාම අන් අයගේ නිදහසට ඔවුන් බාධා නොකළ යුතුය. උද්ඝෝෂකයන්ගේ මතය ජනතාව අතරට ගෙන යෑමට නම් ඔවුන් ජනතාව දිනාගත යුතුය. මහජනතාව පෙළා දමමින් කරනු ලබන උද්ඝෝෂණවලින් එවැනි අරමුණක් ඉටුවේ යැයි සිතිය හැකිද? උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීති සම්පාදන විය යුතු බව අලූත් ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතින මෙම වකවානුවේ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අවධානයට යොමු විය යුතුය.

ඉහත කරුණු සැලකිල්ලට ගන්නා විට මහජනයාට වන ගැහැට, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම හා අධිකරණය අවඥාවට ලක්වීම වළක්වා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට ඇති අයිතිය සීමා පැනවීම අවශ්‍ය බව පෙනේ. 15 වන ව්‍යවස්ථාවේ සඳහන් සීමා කිරීම් හා වෙනත් අවශ්‍ය දෑ ඇතුළත් උද්ඝෝෂණ නියාමන පනතක් මගින් උද්ඝෝෂණවලින් මහජනයාට සිදුවන ගැහැට වළක්වා ගැනීමට හැකිවනු ඇත.

උද්ඝෝෂණ නිසා සිදුවිය හැකි මහජන පීඩා වළක්වා ගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල විවිධ  ආකාරයේ නීති ක‍්‍රියාත්මක වේ. දකුණු අප‍්‍රිකානු නීතියේ 1993 අංක 205 දරණ සමූහ රැුස්වීම් නියාමනය කිරීමේ පනත :ඍැටමක්එසදබ දෙ ඨ්එයැරසබටි ්ජඑ 205 දෙ 1993* නම් පනතින් උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් යම් සීමාවන් පනවා ඇත. ඒ පනතේ අරමුණ උද්ඝෝෂකයන්ගේ උද්ඝෝෂණ මගින් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමයි. ඒ සඳහා ක‍්‍රමවේදයක් පනතින් සකසා තිබේ. පුරවැසියන්ට රැුස්වීමේ සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය මෙම පනතින් පිළිගෙන තිබේ. එය දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවේ ද සඳහන්ය. මෙම පනතට අනුව සංවිධායකයන් උද්ඝෝෂණය පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළ යුතුය. පෙළපාලියක් නම් එය ගමන් ගන්නා මාර්ගය, එහි ස්වභාවය හා අරමුණු ආදිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතුය. වැදගත්ම දෙය නම් යම් හෙයකින් උද්ඝෝෂණය කලහයකින් කෙළවර වීමෙන් හෝ උද්ඝෝෂණය හේතුවෙන් ජනතාවට පීඩාවක් හෝ අලාභයක් සිදු වුවහොත් ඊට වන්දි ගෙවීමට සංවිධායකයන් බැඳී සිටීමයි. තව ද උද්ඝෝෂකයන් හට සුදුසු සුවිශේෂිත ස්ථාන වෙන් කර දීමට ද බලධාරීන්ට මෙම පනතින් බලය පවරා දී තිබේ. කොන්දේසි උල්ලංඝනය  කරන්නා වූ උද්ඝෝෂණ තහනම් කිරීමට ද බලධාරීන්ට හැක. මෑතකදී දකුණු අප‍්‍රිකානු අභියාචනාධිකරණය මෙම  වගන්තිය එරටේ ව්‍යවස්ථාවට අනුකූල බවට ද තීරණය කරන ලදී.

අපේ රටේ ද මෙවන් නීතියක අවශ්‍යතාව බෙහෙවින්ම දැනෙන්නට පටන්ගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වල්බූරු නිදහසක් බුක්ති විඳීම නොවේ. එක් පිරිසක් අයිතිවාසිකම් ඉල්ලා කරනු ලබන අරගලය මහත් වූ ජනතාවකගේ අයිතිවාසිකම් පෙළා දමමින් ඔවුන් පීඩාවට පත් කරන්නක් නොවිය යුතුය. තව ද කිසියම් වූ උද්ඝෝෂණයක් මගින් නීතියේ ආධිපත්‍ය අභියෝගයට කළ නොකළ යුතුය. අධිකරණය හා අධිකරණ ක‍්‍රියාවලිය අවඥාවට හා අපහාසයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතුය. නීති සැකසීමේදී එක් කරුණක් සැලකිල්ලට ගත යුතුය. එනම් එවන් නීති  මගින් විරුද්ධ මත දැරීම හා ඒ සම්බන්ධ ජනමතයක්  ගොඩනැගීමට ඇති අයිතිය අහිමි නොකළ යුතු බවයි. එවන් නීති ජනතාවගේ හඬ මර්දනය කිරීම සඳහා යොදා ගත නොහැකි ලෙසට සම්පාදනය විය යුතුය. එහෙත් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වීම සඳහාත් එවන් නීති සකස් විය යුතුය. එසේ නොවන්නට කවදා හෝ දිනෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගිලගනු ඇත.