ඉන්දියාවේ “රෝ”ලංකාවේ “වහෙන්ඔරෝ”වැඩ කළ හැටි-2

 

 

ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්දීය භාණ්ඩ 1989 මැයි 14 සිට වර්ජනය කරන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටි ජවිපෙ ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කළේය. ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ඉන්දීය භාණ්ඩ 1989 ජූනි 14 සිට නතර කිරීමට ද නියෝග කෙරිණි. එය ප්‍රකාශයට පත් කළේ 1989 ජූලි 6 නුගේගොඩදී 70,000 ක් පමණ සහභාගි වූ දැවැන්ත රැලියේදීය. එමෙන්ම ඉන්දියාවේ සිට ආනයනය කරන බොම්බයි ලූනු, මයිසූර් පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවිය තහනම් කළේය. ඉන්පසු වෙළෙන්ඳෝ බොම්බයි ලූනු ලොකු ලූනු ලෙසද, මයිසූර් පරිප්පු පොඩි පරිප්පු ලෙසද හැඳින්වූහ. ජංගම වෙළෙන්ඳෝ බොම්බයි මොටයි සීනුව ගසමින් අලෙවි කළේ නයිස් මොටයි කියාය. ජවිපෙ ඉන්දියන් විරෝධයෙන් ජනයා භීතියට පත්වී තිබුණේ එසේය. ඉන්දීය භාණ්ඩ ආනයන කරන ව්‍යාපාරිකයෝ ඒවා නතර නොකළ විට ඔවුන්ද ඝාතනයට ලක්වූහ.

ඒ අනුව පිටකොටුව 4 වන හරස් වීදියේ පී. බී. උම්බිච්චි සමාගමේ ගොඩනැගිල්ලේදී එහි හිමිකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන හෝටන් පෙදෙසේ පදිංචි 9 දරු පියෙකු වූ ඉලේතම්බි ශන්මුගම් (72) සහ වැල්ලවත්තේ පදිංචි දෙදරු පියෙකු වූ ඉලේතම්බි සුබ්‍රමනියම් (70) යන සොහොයුරන් දෙදෙනා 1989 පෙබරවාරි 6 දහවල් 11.20 ට වෙඩි තබා ඝාතනය කරන ලදී. ස්වයංක්‍රීය රිවෝල්වර අතැතිව පැමිණි තරුණයින් තිදෙනෙකු වෙඩි තැබීමෙන් පසු ඕල්කට් මාවත දිගේ කොටුව දුම්රියපොළ දෙසට පලා ගොස් තිබිණි. කේ. ගුණරත්නම් 1989 අගෝස්තු 9 මරදානේදී හෙප්තුල්ලාබෝයි සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන් 1989 අගෝස්තු 18 කොහුවලදී ද ආර්. නාගින්දාස් දෙහිවල පිහිටි ඔහුගේ කාර්යාලයේදී 1989 මාර්තු 31 පස්වරු 1.30 ට ඝාතනය කරන ලදී.


සීමාසහිත මොණරාගල සීනි සමාගමේ සේවය කළ ඉන්දීය ජාතික නිලධාරීන් වූ සීනි සමාගමේ ප්‍රධාන කෘෂි විශේෂඥ එස්. කේ. බන්සාල් (50), ඔහුගේ බිරිඳ (45) රාණි කෝටා යන තිදෙනා 1988 නොවැම්බර් 23 රාත්‍රි 12.30 ට කැරලිකරුවන් විසින් වෙඩි තබා මරා දමන ලදී. එදින රාත්‍රී සමාගම භූමියට පැමිණි කැරලිකරුවන් කණ්ඩායම සමාගම සතු ඩෝසර් උපයෝගී කර ගොඩනැගිලි සහ කාර්යාල බිමට සමතලා කොට නිල නිවාසවල සිටි මෙම ඉන්දීය ජාතිකයින් තිදෙනා වෙඩිතබා ඝාතනය කරන ලදී. එහිදී සමාගමේ ඉඩම් කළමනාකරු සිංහ සේනානායකද එහිදී ඝාතනයට ලක්විය. එම සිව්දෙනා ගේ මළ සිරුරු මොනරාගල සිට ගුවන් මගින් 1988 නොවැම්බර් 26 කොළඹට ගෙන එන ලදී. එමෙන්ම ඉන්දීය ව්‍යාපාරිකයින් වූ ඩී. කේ. සුන්දරම් සහ පී. නඩාර් වීරමුණි 1989 ජූනි 23 හලාවතදී ද ඉන්දීය භාණ්ඩ තහනමට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළකළ කොරියානු ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වූ කොරියානු ඉංජිනේරු ආන් හෝචි 1989 නොවැම්බර් 23 ගොකරැල්ලේදී ද ඝාතනයට ලක්විය.


පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි පේරාදෙණිය ඉංජිනේරු සිසු ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ සාමාජිකයින් 221 දෙනෙකු ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 මැගසින් බන්ධනාගාරයට කඩාවැදී නිදහස් කරගනු ලැබීය. අනතුරුව 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජවිපෙ සන්නද්ධ නායකයා ලෙස සිටියේ ප්‍රේමකුමාර් හෙවත් ගැමුණුය. ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ ආයුධ පැහැර ගැනීම ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක් ප්‍රේමකුමාර් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 92 වැනි සැතපුම් කණුව අසලදී ඉන්දීය හමුදාව විනාශ කිරීම සඳහා බිම් බෝම්බයක් ඇටවීමට ද කැරලිකරුවෝ සමත් වූහ. ප්‍රථමයෙන්ම සිදුකළේ ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දීය භටයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන අවි පැහැරගෙන මුහුදට දැමීමය. එක් ඉන්දීය භටයෙකු එහිදීම මියගොස් තිබිණි. අනෙක් ඉන්දීය භටයා ප්‍රතිකාරවලින් පසු සුවපත් විය. පසුව පොලිස් සුනඛයින් යොදා පරීක්ෂණ කිරීමේදී එම ප්‍රදේශයේම කැරලිකරුවන් විසින් සඟවා තිබූ අවි දෙක සොයා ගැනීමට ඉන්දීය හමුදාව සමත් විය.


ත්‍රිකුණාමල චීන වරාය තෙල් සංකීර්ණයට අයත් ඩොල්ෆින් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේදී පැති බෝම්බ දෙකක් පිපිරවීමෙන් ඉන්දීය හමුදාවේ මේජර්වරයෙකු සහ ඉන්දීය හමුදා භටයින් 6 දෙනෙකු 1989 මැයි 22 ඝාතනය කිරීමටද කැරලිකරුවෝ සමත් වූහ. ඉන්දීය භටයින් ශ්‍රී ලංකාවට ගෙන එන සහ ගෙන යන ඉන්දීය නැවට ගොඩවන සෙබළුන් මෙහි ඉලක්කය විය. ප්‍රථම බෝම්බය පිපිරී විනාඩි 20කට පසු දෙවන බෝම්බය පිපිරිණි. දිග වයරයකින් රේල් පාරේ සිට බිම් බෝම්බ පුපුරුවා හරින ලදී. මෙම බෝම්බය ආරක්ෂක අමාත්‍යාංශය ද මුලදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය කැරලිකරුවන්ගේ සැලසුමක් නොවන බවය. මෙය කොටි සංවිධානය මගින් සිදුකළ එකක් යැයි සැකකර දේවරාජා නැමැත්තෙකු අත්අඩංගුවට ගත් නමුත් පසුව සත්‍ය තොරතුරු අනාවරණය විය. සේරුනුවර දෙහිවත්තේ කුරේ හෙවත් කරු, මනෝජ්, ටිරෝන් ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලයේ ජවිපෙ 5 කණ්ඩායමට ඇතුළත් වූහ. මේ අතර හමුදාවෙන් පැන ආ සෙබළු 2 ක්ද වූහ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජවිපෙ දිසා ලේකම් වූයේ කලක් අන්තරේ කැඳවුම්කරු වූ කැලණි සරසවි සිසුවෙකු වූ අන්තරේ ද හිටපු කැඳවුම්කරු වන සේන මච්චාගම හෙවත් කපිලය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රේමකුමාර් හෙවත් ගැමුණුය.


ත්‍රිකුණාමලය මුහුදේ ගිලී තිබූ පැරණි නැවකින් කැරලිකරුවන් විසින් ගොඩගත් වෙඩි බෙහෙත් තොගයක් ඇසුරෙන් සෙරඩෙක්ස් නම් රසායනික ද්‍රව්‍ය මගින් රොකට්ද නිපදවීම සාර්ථක ලෙස අත්හදා බලා තිබිණි. මෙය සිදුකළේ ඉංජිනේරු සිසුවෙකු වූ ශාන්ත ඇතුළු පිරිසක් විසිනි.


එමෙන්ම චීන වරාය ධ්‍යානාගම නිවාස සංකීර්ණයේ පොදු ළිඳ අසල මුල්ලක ටයිම් බෝම්බයක් බේසමක බහා උඩ තුවායකින් ආවරණය කර පුපුරුවා හැරීමට 1989 මැයි මස 6 පස්වරු 4.10 ට කැරලිකරුවන් සමත් වූ අතර එහිදී එම ළිඳේ ස්නානයට පැමිණි ඉන්දීය හමුදා භටයින් 9 ක්ද ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයෙක්ද, සිවිල් වැසියන් 2 ක් ඇතුළු 12 දෙනෙක් මරුමුවට පත්වූහ. එම ළිඳට සාමාන්‍යයෙන් සවස්වරුවේ 20 ක් පමණ ස්නානය සඳහා පැමිණේ.