සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

 

රුසියාවේ නිල සංචාරයක් නිමවා පසුගිය දා ශී‍්‍ර ලංකාවට පැමිණි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හමුවේ ඇති ප‍්‍රධාන කාර්යයක් වන්නේ කැබිනට් මණ්ඩලයේ තනතුරු වෙනසක් සිදු කිරීමය.

මොස්කව් බලා යාමට ප‍්‍රථමයෙන් ඔහු මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දීම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර තිබිණ. එම සාකච්ඡා පදනම් වූයේ එක්සත් ජාතික පක්ෂයට කැබිනට් මණ්ඩලයේ හිමිව තිබෙන අමාත්‍යධුර මතය. එම අමාත්‍යධුර දරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ කි‍්‍රයාකාරීත්වය මෙම සාකච්ඡාවලදී අවධානයට ගැනිණි. කෙසේවුවත් එක්සත් ජාතික පක්ෂයට ලබා දී ඇති අමාත්‍යධුර ඉවත් නොකරන බවත්, අවධානයට ගත යුතු අමාත්‍යවරුන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් තමා දැනුම්වත් කරන ලෙසත්, ජනපතිවරයා අගමැතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

අගමැති වික‍්‍රමසිංහට අමතරව කැබිනට් මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු 27 දෙනෙකි. දුර්වල කි‍්‍රයාකලාපය, ආන්දෝලනාත්මක තීන්දු හා තීරණ ගැනීම් සහ අයථා කි‍්‍රයාවල යෙදුණේ යැයි චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් පිළිබදව, ජනපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී අවධානයට බදුන්ව ඇති බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. ආරම්භයේ දී කැබිනට් තනතුරු වෙනසක් සිදුවිය යුතු නැතැයි ස්ථාවරයක සිටිය ද දැන් අගමැතිවරයා ඊට එකඟත්වය පළ කර තිබෙන බවද, බරපතළ ආන්දෝලනයන්ට මුල් වී සිටින ඇතැම් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් ඔහු ජනපතිවරයා හා සාකච්ඡා පවත්වා ඇතැයි ද දැනගන්නට තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ කටයුතු විමසීමට ලක් කිරීමට ද ජනපති සිරිසේන පියවර ගෙන ඇත. ඇතැමුන් දැනට දරමින් සිටින තනතුරු වෙනස් කරන අතරම, මේ දක්වා එතරම් වැදගත් නොවන අමාත්‍යංශ නියෝජනය කරමින් සිටි ඇතැම් අමාත්‍යවරුන්ට වඩා වැඩි වගකීම් හිමි අමාත්‍යාංශ පවරා දීමට ජනපතිවරයා සූදානමින් සිටී. මෙසේ කැබිනට් තනතුරු වෙනසක් සිදුකිරීමට ජනපති සිරිසේන සැරසෙන්නේ ජනපති ලෙස පත්වූ පසු ප‍්‍රථම වතාවටය. 2015 ජනපතිවරණයෙන් පසුව ද, නැවත 2015 පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසුව ද, ඔහු අවස්ථා දෙකක දී කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පත් කළේය. අනතුරුව ගෙවුණු සමයේ තමන් පත්කළ කැබිනට් මණ්ඩලයේම සිටි ඇතැම් එක්සත් ජාතික පක්ෂ මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ කි‍්‍රයාකලාපය නිසා ඔහු දැඩිව විවේචනයට ලක් විය. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජනතාව දොස් පවරමින් සිටින්නේ ජනපතිවරයාට බව සමීපතමයෝ ඔහුට පෙන්වා දුන්හ. තමන් තත්ත්වය තේරුම් ගෙන සිටින බවත්, වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් එවිට ජනපති සිරිසේන ඔවුන් හමුවේ පැවසුවේය.

කැබිනට් මණ්ඩලයට සිදුකිරීමට යෝජිත වෙනස්කම්වලට අමතරව සන්ධානයේ මැතිවරණ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ද ජනපතිවරයාගේ අවධානය යොමුව ඇත. ඒ අතරින් ප‍්‍රධානම වනුයේ බරපතළ ගණයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විවිධ විමර්ශන කටයුතුය. දැනටමත් ඇතැම් විමර්ශන ආයතන එවැනි විමර්ශන කටයුතු අරබයා තම කි‍්‍රයාකාරීත්වය වඩාත් කඩිනම් කර ඇති අතර, විමර්ශනයන් අතරතුර දී සිදුවන විවිධ අනාවරණ මාධ්‍ය ඔස්සේ පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත. මෙහි අරමුණ වන්නේ විමර්ශන කටයුතු ආරම්භ කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත්, තවමත් එම කටයුතු කි‍්‍රයාකාරීව සිදුවන බව ජනතාවට දැනගැනීමට සැලැස්වීමය. මෙම කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී සංස්ථා සහ මණ්ඩලවල මුල් පුටු කිහිපයක් වෙනස් වීමට නියමිත බව දැනගන්නට ඇත. නව පෙනුමක් ලැබෙන කැබිනෙට්ටුවට රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩි වගකීමක් පැවරෙනු ඇති අතර, විශේෂයෙන් ණය බර ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන වත්මන් තත්ත්වය හමුවේ එයට මුහුණ දීම සදහා රටේ විදේශ සංචිත ප‍්‍රමාණයට ඉහළ දමා ගැනීම ප‍්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. ඩොලර් බිලියන 8.5ක අගයේ පැවැති විදේශ සංචිත ප‍්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 5.2ක් දක්වා පහත බැස තිබෙන බව දැනගන්නට ඇති අතර, එම මුදල සෑහෙනුයේ මාස තුනක කාලයකට අපනයන සිදුකිරීම සදහා පමණක් බව ද සඳහන්ය.

පසුගිය ඉරිදා රාති‍්‍රයේ ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනපති නිල නිවස්නයේ දී පැවැති පළමු පෙළේ සාකච්ඡාවේ ද ප‍්‍රධාන මාතෘකාව වූයේ ශී‍්‍ර ලංකාව මත පැටවී තිබෙන ණය බරයි. සහනයක් ලබා ගැනීම සදහා අනුගමනය කළ යුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවිය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සරත් අමුණුගම, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් ප්‍රෙමජයන්ත, ඩිලාන් පෙරේරා සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරු ද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරළ සහ කබීර් හෂීම් යන අමාත්‍යවරු ද සහභාගීව සිටියහ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනපතිවරයා හා එක්ව සාකච්ඡාව මෙහෙයවීය. වරාය හා නාවික වැඩ බලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද සාකච්ඡාවට සහභාගීව සිටියේය.

කැබිනට් මණ්ඩලය රැස්වනුයේ සතියකට වරක් පමණක් වීම හමුවේ කාලය සීමා සහිත වීම නිසා ඇතැම් අවස්ථාවල යම් තීරණයකට එළැඹිම දිනෙන් දිනම කල් යෑම සිදුවේ. එසේ සිදුවන්නේ අදාළ තීරණය ලබාදීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඉතා හොඳින් විමසුමට ලක් කිරීමට කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අවශ්‍ය වන නිසාය. සාමාන්‍යයෙන් යම් විෂය පථයකට අදාළ වන සාකච්ඡාවක් පැවැත්වෙන, තීරණයක් ගැනෙන අවස්ථාවක දී එම විෂය පථය නියෝජනය කරන අමාත්‍යවරයා හෝ අමාත්‍යවරිය එම සාකච්ඡාවකට සහභාගී විය යුතුය.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන සහන ගිවිසුම බොහෝ කාලයක් මුළුල්ලේ කැබිනට් මණ්ඩලය හමුවේ සාකච්ඡාවට ගැනෙමින් තිබෙන හෙයින්, පසුදින ඒ සම්බන්ධයෙන් තවත් කැබිනට් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ද, පසුගිය ඉරිදා ජනපති නිල නිවස්නයේ රැස්ව සිටි එක්සත් ජාතික පක්ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිසකගේ අවධානය යොමු වූයේ ද ඒ පිළිබදවය. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමත්, ඒ හරහා ඉක්මන් නිගමනයකට පැමිණීමත් මෙම රැස්වීම පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ විය.

එහිදී සහන ගිවිසුම පදනමේ සිට විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සකස් කර තිබූ කැබිනට් පති‍්‍රකාවක් සාකච්ඡාවට බදුන් විය. සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල හමුවට පැමිණීම අනිවාර්යය බව සියලූම අමාත්‍යවරුන්ට දැනුම් දී තිබිණ. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තම මොස්කව් සංචාරය අවලංගු කළේය. එහෙත් පසුව ඔහු ජනපති සිරිසේනගේ දූත පිරිස සමග මොස්කව් බලා ගියේය. ධීවර අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිටියේ ඇමරිකාවේ සංචාරයක නියැළීය. සඳුදා කැබිනට් මණ්ඩල හමුවේ දී ව්‍යාපෘතියට අනුමැතිය ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ අදහස විය. එම අනුමැතිය ලැබීම මත චීන සමාගමෙන් ශී‍්‍ර ලංකාව වෙත ලැබීමට නියමිත වූ ඩොලර් බිලියන 1.1 ක මුදල රැදී තිබුණු අතර, එම මුදල යොදාගෙන රටේ ණය බර යම් තරමකින් හෝ අඩු කරගැනීම රජයේ අපේක්ෂාව විය. චීන සමාගම මෙම මුදල ලබාදීමට කැමැත්ත පළ කර තිබූයේ සහන ගිවිසුමේ කරුණු අධ්‍යයනය කර, එම සමාගමේ අවශ්‍යතා එයින් සපුරාලන බව සහතික කර ගැනීමෙන් පසුවය. ගිවිසුම අත්සන් කිරීම කඩිනම් කිරීමට තවත් හේතුවක් වූයේ චීන සමාගම, එනම් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් කම්පැනි, එහි වාර්ෂික මහා සභා රැස්වීම 29 වැනිදා හොංකොං හිදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබීමය.

රැස්වීමට සහභාගීව සිටි ඇතැම්හු ගිවිසුමේ සදහන්ව තිබූ ඇතැම් ප‍්‍රධාන කරුණු ගෙනහැර දක්වමින් එම කරුණු අරබයා තම දැඩි විරෝධය දැක්වූහ. දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින රටට යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් පමණක් මෙම ගිවිසුම අත්සන් තැබෙන බවත්, ගිවිසුම අත්සන් තැබීමට මෙවැනි කලබලයකින් කටයුතු කෙරෙනුයේ ඒ නිසාවෙන් බවත්, යන මතය එහිදී ඉස්මතු විය. වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත්, ඔහුගේ සොයුරු වරාය අධිකාරියේ සභාපති සංජීව රණතුංග මහතාත්, දිවයිනෙන් බැහැරව සිටින බව ජනපති සිරිසේනගේ අවධානයට ලක් විය. දින 10ක මොරොක්කෝ සංචාරයක් සදහා රණතුංග දිවයිනෙන් බැහැරව ගොස් තිබිණ. හම්බන්තොට වරාය පිළිබද සාකච්ඡාව අවසන් වූ පසු, විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දැනට පැවැත්වෙමින් තිබෙන සැසිවාර ගැන දැනුවත් කිරීමක් සිදු කළේය.

හමුවට සහභාගීව සිටි එක්තරා අමාත්‍යවරයකු එය අවසානයේ තම අමාත්‍ය සගයෙක් සමග අදහස් දක්වමින් ජේ.ආර්. ජයවර්ධන ජනපති සමයේ සිදුවීමක් සිහිපත් කළේය. ජයවර්ධන ති‍්‍රකුණාමල වරාය ඇමෙරිකාව පදනම් වූ ව්‍යාපාරයකට ලබාදීමේ සූදානමකින් සිට ඇති අතර, එය දැනගත් එවක ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි අතිශයින් කුපිතව ශී‍්‍ර ලංකාවට එකට එක කිරීමක් ලෙස දෙමළ අවිගත් කණ්ඩායම් වලට ඉන්දියාවේ සහය ලබා දී ඇත. එහි ප‍්‍රතිඵලයෙන් වසර 30ක් පුරා ශී‍්‍ර ලංකාව දුක් වින්දේය. තවත් අමාත්‍යවරයෙක් ඔහුගේ සගයෙක් හා අදහස් දක්වමින්, මාලදිවයිනේ දූපත් දෙකක්, එකක් සෞදි රජ පවුලකටත් අනෙක චීනයටත් විකිණීමට මාලදිවයින් රජය ගත් තීරණයකට එරෙහිව එරට ජනතාව වීදි බැසි අයුරු සිහිපත් කළේය. කෙසේවුවද, මෙම උදාහරණ හමුවේ වුවද, හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීමට රැස්වීම අවසානයේ තීරණය විය. මේ අනුව හම්බන්තොට වරාය සහන ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම පිළියෙළ කර තිබූ කැබිනට් පති‍්‍රකාව අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡුාවට ගැනිණි. පසුගිය දින රැයේ ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීමට එකගත්වය පළ වුවද, කැබිනට් මණ්ඩලයේ වාතාවරණය ඊට හාත්පසින්ම වෙනස් විය. අමුණුගමගේ කැබිනට් පති‍්‍රකාව කරුණින් කරුණ විමසා බැලූණ අතර, ඇතැම් කරුණු ඉතාම දැඩිව විවේචනය කැරිණ. චන්දිම වීරක්කොඩි, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරු කැබිනට් පති‍්‍රකාවේ සදහන් වූ ඇතැම් කරුණු වලට එරෙහිව දැඩි විරෝධය දැක්වූවෝය. ඔවුන් ඇමතූ ජනපති සිරිසේන, සහන ගිවිසුම නැවත වරක් ඉතාම සැළකිල්ලෙන් විමසා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන සහන ගිවිසුම (ලිපි අංක 83)

ශී‍්‍ර ලංකා රජය සහ චීනයේ චයිනා මර්චන්ට් පෝරට් හෝල්ඩින්ග්ස් කම්පැනි අතර අත්සන් තැබීමට නියමිත ඉහත ගිවිසුම, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන අනාගත සැළසුම්, මුල්‍ය ප‍්‍රතිලාභ, මෙහෙයුම් ප‍්‍රවර්ධන කිරීම් සහ අදියර එක, අදියර දෙක අවධි වලදී සම්පූර්ණ කරන ලද යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, යෝජිත අදියර තුන අවදියේ සංවර්ධන කටයුතු ආදියත් මුල් කොටගෙන සකස් කර ඇත. ගිවිසුමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදී තිබෙන සහතිකය සැළකිල්ලට ගනිමින්, එයට එකඟත්වය පළ කිරීමටත්, ගිවිසුම නියමිත පරිදි කි‍්‍රයාත්මක වන්නේදැයි අධීක්ෂණය කිරීම සදහා සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කැබිනට් උප කමිටුවක් පත් කිරීමටත්, කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අමාත්‍යංශ ආරංචි මාර්ගයකට අනුව මෙම කැබිනට් උප කමිටුවේ කාර්යභාරය වනු ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වීම අරබයා සැළසුමක් සකස් කිරීමය. ඊට අමතරව ගිවිසුමෙහි ඇතිකරගත් එකඟතා අනුව චීන සමාගම කෙසේ කටයුතු කරන්නේ දැයි නියාමනය කිරීම ද මෙම කමිටුවෙන් සිදුවනු ඇති බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේය. සුසිල් පේ‍්‍රමජයන්ත, අර්ජුන රණතුංග, පාඨලී චම්පික රණවක, මලික් සමරවික‍්‍රම සහ රවී කරුණානායක කමිටුවේ සාමාජිකයන් ලෙස නම් කරනු ලැබූහ. අගහරුවාදා පැවැති කැබිනට් හමුවේ දී ගිවිසුම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළ පාඨලී චම්පික රණවක මහතා, සිකුරාදා ජනපති සිරිසේනට ලිපියක් යවමින් දැනුම් දුන්නේ, තමා මෙම කමිටුවෙන් ඉල්ලා අස්වන බවය.

‘‘මේ අලූත් ගිවිසුම හොඳින් අධ්‍යයනය කරන්නය කියලා ජනපතිවරයා ඔහුගේ අමාත්‍යවරුන්ට අනතුරු අගවලා තියෙනවා. එහෙත් එහෙම අනතුරු අගවලා තිබුණත්, ඔහු පෞද්ගලික මට්ටමින් මේ ගිවිසුමට කැමැත්ත ලබාදී තිබෙන බවක් පෙනෙනවා. මොකද එහෙම නැතිනම් කැබිනට් අනුමැතියක් ලබාගන්න පුළුවන් කමක් නැහැ. අපේ නව සංවිධානය රජයේ සම්පත් විකුණනවාට හෝ බද්දට දෙනවාට විරුද්ධයි. ඒ නිසාම අපි වෘත්තිය සමිති හමුවට යමින්, මේ වෙන දේවල් ගැන ඔවුන්ගේ අදහස් විමසුමට ලක් කරමින් සිටිනවා. අපි මේ ගැන, මෙතැන තියෙන අන්තරායන් ගැන ජනතාවට කියනවා.’’ හම්බන්තොට වරාය ඉදිකිරීමෙහි ලා මුල්තැන ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.

මොරොක්කෝව බලා යෑමට ප‍්‍රථමයෙන් වරාය හා නාවික අමාත්‍ය රණතුංග පිටු 11කින් යුතු වූ කැබිනට් පති‍්‍රකාවක් තම කැබිනට් සගයන් අතර බෙදා දුන්නේය. ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් සිනහමුසුව අදහස් දක්වමින්, ‘‘ඒකේ තියෙන්නේ වරාය අමාත්‍යවරයාගෙයි ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙයි හඬ තමයි’’ යැයි පැවසුවේය. වැඩ බලන නාවික හා වරාය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කැබිනට් පති‍්‍රකාවට අත්සන් තබා තිබිණ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධ එකගතා ඇති වූ ආකාරයත්, දෙපාර්ශවය අතර හුවමාරු වූ ලිපි ලේඛනත්, පැවැති රැස්වීම්වල වාර්තාත්, ආදී සියල්ල එම කැබිනට් පති‍්‍රකාවේ විය.

රණතුංගගේ කැබිනට් පති‍්‍රකාවෙන් සහන ගිවිසුමෙහි කරුණින් කරුණ ගෙන, එම එක් එක් කරුණට අදාළව ඇති අවාසි සහගත තත්ත්වයන් විස්තර කර තිබිණ. සමස්තයක් වශයෙන් ගත් කළ එම කැබිනට් පති‍්‍රකාවෙන් ඉස්මතු කර තිබුණේ මෙම ව්‍යාපෘතිය සහ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් වූ සෑම කටයුත්තකදීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා නොසලකා හැර ඇති බවය.

‘‘එයාට ඔච්චර වුවමනාවක් තිබ්බා නම්, ලංකාවේ ඉදලා එයාගේ ගැටලූව ජනපතිවරයාටයි කැබිනට් මණ්ඩලයටයි ඉදිරිපත් කරන්න තිබුණා.’’ එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් පැවසුවේය. කෙසේ නමුත් රණතුංගගේ කැබිනට් පති‍්‍රකාවේ අවධානයට ගත යුතුම වන කරුණු රැුසක් තිබෙන බව බැහැර කළ නොහැකිය. පහත දැක්වෙන්නේ එවන් කරුණු කිහිපයක සංක්ෂිප්තයන්ය.

මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රකාරව අනාගත සංවර්ධන කටයුතු සඳහා ඇති අයිතීන්, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතු වරාය මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ අයිතීන්, සහ වරාය ආශි‍්‍රතව සැළකිය යුතු බිම් කොටසක්, වසර 99ක කාලයකට මෙහෙයුම් කටයුතු බාර සමාගමට බදු දෙනු ඇත. එහෙත් කොළඹ වරාය සැලකීමේ දී, සංවර්ධනය කිරීම සඳහා භාවිතා කළ මුහුදු කොටස ව්‍යාපෘතිය භාර සමාගම වෙත ලබා දුන්නේ බහාලූම් පර්යන්තයක් ඉදිකිරීම, මෙහෙයුම් කටයුතු දියත් කිරීම, සහ පවරා දීම යන සියලූ කටයුතු වසර 35ක කාලයක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය යන පදනමේ සිටය. මෙනිසා සහන ගිවිසුමෙන් ලබාදී තිබෙන වසර 99ක අවසරය, වසර 30ක් හෝ 40ක් හෝ ලෙස වෙනස් කිරීම සුදුසුය. තවද, මේ සම්බන්ධයෙන් වන කැබිනට් පති‍්‍රකාව පිළිබඳව අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය වන්නේ ද, බදු දීම වසර 30 කට නොඅඩු කාලයකට සිදුකළ යුතු බවය.

වරායට අයත් වන බිම් කොටසේ වපසරිය ආසන්න වශයෙන් හෙක්ටයාර 1650ක් පමණ වේ. මෙම බිම් කොටසේ වටිනාකම තක්සේරු කර ඇත්තේ වර්තමානයේ හම්බන්තොට බිම් කොටස් වටිනාකම මත පිහිටා වසර 99ක කාලයකටය. මේ අනුව මෙම ඉඩමේ අපේක්ෂිත වටිනාකම ඩොලර් බිලියන 8.1ක් පමණ වේ. අනෙක් රාජ්‍ය - පෞද්ගලික හවුල් වලින් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය අයකරන ඉඩමේ වටිනාකමින් සියයට තුනක් වන මුදල මෙම අගයට ඇතුළත් නැත. ව්‍යාපෘති වියදමට, ඉඩම සදහා ගෙවිය යුතු මුදල ඇතුළත් කර නොමැති අතර, ඉඩම් සදහා වෙනම බදු මුදලක් ගෙවන බවක පැහැදිලි සදහනක් හෝ එවැනි බදු ගෙවීමක් සිදුවන්නේ නම් එසේ ගෙවන්නේ කුමන බිම් කොටස් සඳහා දැයි හෝ පැහැදිලි සදහනක් අවබෝධතා ගිවිසුමේ දැකගත නොහැකිය.

රජයේ තක්සේරු දෙපාර්තුමේනේතුවට අනුව ඉඩම් හෙක්ටයාරයක වාර්ෂික බදු වටිනාකම රුපියල් 988000කි. එහෙත් වරාය අධිකාරිය ඉඩම් සදහා පවත්වාගෙන යන වාර්ෂික බදු අගය හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 75කි. මේ අනුව සැලකූ විට මෙම ගිවිසුම යටතේ හෙක්ටයාරයක බිම් කොටසකින් රජයට වර්ෂයකට අහිමි වන බදු මුදල් වටිනාකම රුපියල් ලක්ෂ 65කට ආසන්නය. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති අගයන් පිළිබදව සෑහීමකට පත්විය නොහැකි හෙයින්, තක්සේරු කිරීම නිවැරදිව සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළෙදාම් පිළිබද අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වාර්තාව සැලකීමේ දී, එහි තැනක ශී‍්‍ර ලංකා රජය මැදිහත්ව සමාගමක් පිහිටුවීමටත්, එම සමාගම ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි කිරීමටත්, කටයුතු කරනු ඇති බව සදහන්ව ඇත. එහෙත් සහන ගිවිසුමේ කෙටුම්පත අධ්‍යයනය කිරීමේ දී, එහි සදහන් වන්නේ, ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සදහා වන සමාගමක්, ශී‍්‍ර ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටැවීමට ගිවිසුමට අත්සන් තබන පාර්ශ එකඟ වන බවය. මෙවන් සමාගමක් පිහිටුවීම අරබයා ගිවිසුමෙහි සදහන් වන කරුණු විනිවිදභාවයකින් තොර බව අපගේ අදහසයි. මෙම සහන ගිවිසුම කි‍්‍රයාත්මක විය යුත්තේ කොළඹ අන්තර්ජාතික බහාලූම් පර්යන්තය, දකුණු ආසියා පර්යන්තය ආදී අවස්ථා වලදී භාවිතා වූ පරිද්දෙන්, රාජ්‍ය-පෞද්ගලික සබඳතාවක් යටතේ බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ව්‍යාපෘති කටයුතු සදහා වෙනම සමාගමක් ලියාපදිංචි කිරීමට අප එක හෙළාම විරුද්ධය.

පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.1ක් ලැබෙන හම්බන්තොට වරාය ගිවිසුම ඉදිරි සති කිහිපය ඇතුළත අත්සන් තැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමත්, ඒ මාර්ගයෙන් ලැබෙන මුදල් රටේ ආර්ථිකය යම් තරමකට හෝ ශක්තිමත් කිරීම සදහා යෙදවීමත් හැරෙන්නට උදාවන සිංහල අලූත් අවුරුද්දට පෙර හා පසු ප‍්‍රමුඛතාව ලබා දිය යුතු කටයුතු රාශියක් ජනපති සිරිසේන හමුවේ ඇත. ලබන ඉරිදා ඔහු පක්ෂයේ තරුණ සාමාජිකයන් අමතනු ඇත. එළැඹෙන මැයි මාසයේ ඔහු නුවර දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් අමතනු ඇත. මෙම අවස්ථා දෙක හිදීම ජනපතිවරයා, ජනතාව බලාපොරොත්තුවෙන් සිටින පැහැදිලි පණිවිඩ ඔවුන් වෙත ලබාදිය යුතු වනු ඇත.

හම්බන්තොට ව්‍යාපෘතියේ අවාසි සහගත තැන් වරාය අමාත්‍යංශයේ අවධානයට

හම්බන්තොට වරායේ ඉදිකිරීම් චීන සමාගමකට පවරා දීම සම්බන්ධයෙන් සාකච්ඡුා ආරම්භ වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ය. චීනයේ සංචාරයකින් පසු ශී‍්‍ර ලංකාවට පැමිණි අගමැති වික‍්‍රමසිංහ ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටු රැස්වීමක දී දැනුම් දුන්නේ චීන ආයෝජකයන් හම්බන්තොට වරාය හා කර්මාන්ත පුර පිහිටැවීම සම්බන්ධයෙන් උනන්දු බවය. එම මාසයේදීම ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හම්බන්තොට වරාය අරබයා ඇති ණය සහ එකගතා පිළිබද තොරතුරු ලබා දුන්නේය. වරාය ඉදිකිරීම සදහා (පැවති රාජපක්ෂ රජයෙන්) ලබාගෙන තිබූ ණය ගෙවමින් සිටියේ මහා භාණ්ඩාගාරය නොව ශී‍්‍ර ලංකා වරාය අධිකාරියයි. එහෙත් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව තීරණය කළේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රාජ්‍ය - පෞද්ගලික සබදතාවයක් ඇති කරගැනීම සදහා චීන රජය අවධානය යොමු කළ යුතුව ඇති බවයි. ඒ අරබයා යෝජනාවලියක් ජූලි මාසය වන විට ඉදිරිපත් කරන ලෙස ද චීන රජයෙන් ඉල්ලීමක් කැරිණි. පසුව ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යි ෂියැන්ලින්ග් ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ රැස්වීමකට සහභාගී විය. ශී‍්‍ර ලංකා රජය කර තිබූ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ දැනට චීනයේ තිබෙන නීතිය අනුව ලබා දී තිබෙන ණය මුදලක් සෘජුවම මෙවැනි සබදතාවක් යටතට ගැනීම සදහා අවසරයක් නොමැති බවයි. එය සිදුකළ යුත්තේ වානිජ්‍යය පදනමක් මත ආයෝජකයන් හා සමග පැවැත්වෙන සාකච්ඡා මාර්ගයෙන් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම සබඳතාව ඇති කර ගැනීම සදහා භාවිතයට ගත හැකි මූලෝපාය පිළිබද අධ්‍යයන වාර්තාවක් පිළියෙළ කර ඉදිරිපත් කරන ලෙස ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව, ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක ආර්. පස්කාරලිංගම් මහතාට උපදෙස් දුන්නේය. එය 2016 අගෝස්තු මාසය විය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවට, ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරයා සමාගම් දෙකක් යෝජනා කර තිබෙන බව දැනුම් දෙනු ලැබීය. චයිනා මර්චන්ට් පෝරට්ස් හෝල්ඩින්ග් ලිමිටඞ් සහ චයිනා හාර්බර්ස් එන්ජිනියරින්ග් කම්පැනි ලිමිටඞ් එම සමාගම් විය. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුවක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළේය. පසුව කැබිනට් නියමයෙන් පත් කර තිබූ කැබිනට් මණ්ඩල කතිකා කමිටුව හා මේ පිළිබදව සාකච්ඡා කරන ලෙසත්, කමිටුවට අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලෙසත්, පස්කාරලිංගම්ට උපදෙස් ලැබිණ. එනම් ලංසු ඉදිරිපත් කිරීම සඳහා වෙනත් පාර්ශවයන්ට ආරාධනා කිරීමක් හෝ ලංසු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් තිබෙන බව දැනුම්දීමක් හෝ සිදු නොවීය.

චයිනා මර්චන්ට්ස් පොර්ට්ස් හෝල්ඩින්ග් ලිමිටඩ් සමාගම තෝරා ගැනිණි. මේ තීරණය ගැනීම අරබයා ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ අදහස් විමසීමක් සිදු නොවිණ. මෙම තීන්දුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අතිශයින් විමතියට පත්වූ බවත්, මුදල් මත පිහිටා පමණක් මෙම තීරණය ගෙන ඇති කැබිනට් කමිටුව ව්‍යාපෘතියේ අනෙක් සියලූ කරුණු කාරණා අමතක කර දමා ඇති බවත්, වරාය හා නාවික අමාත්‍යාංශය පැවසුවේය.

පසුගිය නොවැම්බරයේ පැවැති ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටු රැස්වීමක දී, ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 65ක් චීන සමාගමටත්, සියයට 35ක් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියටත් හිමිවන ලෙස කොටස් බෙදීම සිදුවිය යුතුව තිබෙන බවට යෝජනාවක් ඉදිරිපත් කළේය.

එහෙත් සාකච්ඡා වල පදනම වූයේ සියයට 80ක් චීන සමාගමටත්, සියයට 20ක් ශී‍්‍ර ලංකා වරාය අධිකාරියටත් හිමිවන පරිදි ව්‍යාපෘතියේ කොටස් බෙදීමටය. මෙයට ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ මෙන්ම කැබිනට් මණ්ඩලයේ ද අනුමැති හිමිය.

චීන පාර්ශවය ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 1.4ක මුදලක් ගෙවීමට එකගතාව පළකර ඇති බව පෙර රැස්වීමේදීම සදහන් විය. එහෙත් මෙම අගය තීරණය කිරීමේදී ව්‍යාපෘතියේ මුලූ වටිනාකම නොසළකා හැර තිබිණ.එය මීට වඩා අතිශයින් ඉහළ අගයකි. ඒ වන විට ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, වරාය ඉදිකිරීම සඳහා පෙර රජය යටතේ ලබාගත් මුදලට ඩොලර් ලක්ෂ 2200කට ආසන්න ණය ගෙවා තිබූ අතර, එම මුදල ද ඉහත සදහන් කළ අගය ගණනය කිරීමේ දී නොසළකා හැර තිබිණි.

හම්බන්තොට වරායේ මුල් පෙළේ ව්‍යාපෘතීන්වල ඉදිකිරීම් සඳහා වැයවූ මුදල පමණක් ඩොලර් බිලියන 1.4 ඉක්මවූ බවත්, ණය හා පවතින සංචිත භාවිතා කරමින් එම වියදම දැරීමට සිදුව ඇත්තේ තමන්ටම බවත්, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පසුගිය වසරේ ඔක්තෝබර් මස ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවට දැනුම් දුන්නේය. බන්කරින් පහසුකම් ඇති කිරීම සහ වෙනත් ඉදිකිරීම් අවස්ථා සඳහා ඉදිරිපත් වීමේ අවසරය ආයෝජකයන් වෙත ලබාදෙන ලෙස වරාය අධිකාරිය ඉල්ලීමක් ද සිදු කළේය. නමුත් පසුගිය වසරේ ජූලි මාසයේ ගන්නා ලද තීරණයක් මත ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව එම අවසරය ලබා නුදුන්නේය.

හම්බන්තොට වරාය සංවර්ධනය මැයෙන්, ඒකාබද්ධ කැබිනට් පති‍්‍රකාවක් සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළෙදාම් අමාත්‍යවරයාගේ, විශේෂ ඇගයීම් පිළිබද අමාත්‍යවරයාගේ, වරාය හා නාවික අමාත්‍යවරයාගේ, එකගත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කැරිණ. එහෙත් එම කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කරන තෙක්, එවැන්නක් පිළිබදව වරාය හා නාවික අමාත්‍යාංශය දැන නොසිටියේය.

ගිවිසුම සකස් විය යුතු රාමුව පිළිබද එකඟතාවක් ව්‍යාපෘති බාර සමාගම සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කමිටුවක් අතර අත්සන් තැබිණ. එසේ සකස් කර ගත් ගිවිසුම් රාමුවට පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටු රැස්වීමක දී අනුමැතිය ලැබිණ. කැබිනට් මණ්ඩලය ද එම තීරණය පිළිගත්තේය.

ගිවිසුමෙහි දෙවැනි කෙටුම්පත නීතිපතිවරයාගේ අවධානයට ලක් කිරීමට නියමිත බව අනතුරුව ඉදිරිපත් වූ සහන ගිවිසුම, සිදුවීම් දාමය, යන කැබිනට් පති‍්‍රකාවේ සදහන් විය.ඒ අනුව මෙම දෙවැනි කෙටුම්පතෙහි, පළමු කෙටුම්පතට වඩා ශී‍්‍ර ලංකා රජයට අවාසි වන අවසරයන් සහ සදහන් ඇත. එක් උදාහරණයක් වූයේ ඇති කරගැනීමට යන රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවට අනුව, රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන කවරකුට වුවද, වරායේ සිට කිලෝමීටර 50ක සීමාවක කිසිදු ඉදිකිරීම් හෝ සංවර්ධන හෝ කටයුත්තක නියැළිය නොහැක යනුවෙන් ගිවිසුමට එක් කර තිබූ කොන්දේසියයි.

2017මාර්තු පළමුවැනිදා පැවැති ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටු රැුස්වීමේ ගත් තීරණයකට අනුව භාණ්ඩාගාරය යටතේ කි‍්‍රයාත්මක වන, හම්බන්තොට වරායේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු නියාමනය කෙරෙන විශේෂ සමාගමක් පිහිටැවීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට අවසරය ලබාදීම සිදුවිය. වරායේ සියයට සියයකම කොටස් පවතිනු ඇත්තේ මෙම සමාගම යටතේ වන අතර, වරාය මෙහෙයුම් භාර සමාගමේ භාරකරුවා ලෙස කටයුතු කරනු ඇත්තේ ද මෙම සමාගමයි. ජාතික ප‍්‍රමුඛතාවක් ලෙස සලකා ව්‍යාපෘතියට අදාළ වන රජයේ කටයුතු කඩිනම් කිරීමේ අධිකාරිය ද මෙම සමාගමට හිමිය.

බද්දට ලබාගෙන ඇති බිම් කොටස ලෙස වරාය සඳහා වෙන්කර ඇති සමස්ථ බිම් කොටසම සැලකිය යුතුය. ඒ අනුව සහන ගිවිසුමේ අදාළ සඳහන වෙනස් විය යුතුය. මෙම බිම් කොටසට ගෙවිය යුතු වන බදු පිළිබද සඳහනක් චීන සමාගම ගිවිසුමට ඇතුළත් කර නොමැති බව වරාය හා නාවික අමාත්‍යංශයේ අවධානයට ලක් විය. මුළු කාලසීමාවටම බල පැවැත්වෙන පරිදි බිම් කොටසට අදාළ පරිදි බදු ගෙවීමට ඇති කරගැනීමට යන රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවයේ මෙහෙයුම්කරුවා (වරාය සමාගම) කටයුතු කළ යුතුය. එමෙන්ම චීන සමාගම ඉදිරිපත් කර ඇති ආයෝජන වටිනාකම, සංවර්ධන කටයුතු සහ මෙහෙයුම් අයිතීන් යන පදනම් හි සිට පමණක් ගණනය කර ඇති බව සැලකිය යුතුය.