”අහස උසට නැඟුණු රූස්ස ගොඩනැගිලිවලින් පිරි කොන්ක‍්‍රීට් වනාන්තරයක් වූ මෙගා නගරය තුළ දහසක් වාහනවලට මැදිවී සිරවී කොටුවී නිවසට යාගත නොහැකිව මහ පාරේ කල් මරණ යුගය නිමා කර, විස දුමෙන් පිරි ඝන අඳුරු කළු අහස යළිත් සිත පහන් කරනා සුපැහැදිලි නිල් අහසක් බවට පත් කරන්නට, ගහකොළ, ඇහැට පෙනෙන නොපෙනෙනා සතුන්, අපා දෙපා සිව්පා සකලවිධ ජීව ලෝකය වනසාලමින්, මිනිසා විසින් මහපොළොවට දශක ගණනාවක් තිස්සේ හෙලූ හලාහල වසවිස නිසා රෝගී වූ අපේ මේ මහපොළොව යළිත් සුවපත් කරන්නට, වසවිසෙන් පිරි දුඹුරුවන් වූ කළුවන් වූ ඇළදොළ යළිත් ගත සිත සනසන, ගලා යන දිය දෝතක් රැගෙන පානය කළ හැකි සුනිල්වන් දිය දහරා බවට පත් කරලන්නට, අසීමිත ආශාවන්ගෙන් වියරුව, තණ්හාව, ද්වේශය, ක්‍රෝධය, වෛරය සහ තරගය රජයන, මත් වතුරින්, මත්කුඩුවලින් සිත්සතන් විකල් කරගත්, එකිනෙකා සමඟ ඇනකොටා ගන්නා ඒ තිරිසන් සමාජය, යළිත් මෛත‍්‍රිය, හිතමිතුරුකම රජයන, පහන් වූ සිත් ඇති සොබා දහමට ආදරය කරන, සතාසිව්පාවාට ආදරය කරන, එකිනෙකාගේ දුක සැප බෙදාහදාගෙන රටේ ලෝකයේ සුභසිද්ධිය වෙනුවෙන් එකිනෙකාට උදව්පදව් කරගන්නා මිනිසුන්ගෙන් පිරි මනුස්සකම රජයන සමාජයක් බවට  පත්කරන්නට දැන් කාලය ඇවිත්.”

ඉහත උපුටා දැක්වූයේ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වුණු ශ‍්‍රී ලංකා ජාතික සභාවේ පළමු සමුළුවේදී ‘තිරසාර යුගයකට මඟ’ ‘රට හදන ජාතික සැලැස්ම’ නමින් ඉදිරිපත්වූ  ප‍්‍රතිපත්ති සහ මුලෝපායික වැඩපිළිවෙළෙහි අනාගතවාදී අඬගැසීමේ හෝ සිහිකැඳවීමේ පාඨය යි. සමස්ත මානව වර්ගයා ලෝක පරිමාණයෙනුත් සුවිශේෂී වරටක් විදියට අපත් මේ මොහොතේ මුහුණදෙමින් සිටින සහ අනාගතයේදී මුහුණදීමට නියමිත ආර්ථික, සමාජයීය, පාරිසරික සහ ආධ්‍යාත්මික පරිහානිය හේතුකොට ගෙන සිදුවන මහා ව්‍යසනය වළකාගන්නේ කෙසේද යන්න මේ ප‍්‍රතිපත්ති සහ මූලෝපායික වැඩ පිළිවෙළේ අඩංගු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික සභාවේ ලෝක සහ ජාතික දෘෂ්ටියට අනුකුලවය.

වැඩපිළිවෙළක් ලෙස එහි ඇති කරුණු කාරණා සහ යෝජනා කිසිවෙකුටත් නොසලකා සිටිය නොහැක. ප‍්‍රගතිශීලීව සිතන සහ වැඩකරන කවර  සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික  සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ පුද්ගලයකුට හෝ ඒ යෝජනා පිළිබඳ නොසිතා නොසලකා කටයුතු කළ නොහැක. බොහෝවිට උපායයික, ක‍්‍රමවේදමය සහ සංවිධානමය වෙනස්කම් හෝ විවිධත්වයන් හෝ තිබිය හැකි වුවත් මූලධාර්මික වෙනස්කම් නම් බරපතළ නොවේ යන්න මගේ හැඟීමයි.

1760 ගණන්වලදී බි‍්‍රතාන්‍යයේ ඇරඹි, පසුව යුරෝපය පුරාත් එහි අතුරුඵල ලෝකය පුරාත් ව්‍යාප්ත වූ,  දැනට වසර දෙසිය පනස්හතක් ගෙවී ගොස් ඇති කාර්මික විප්ලවයේ ආනිශංස නැතහොත් ශේෂපත‍්‍රය ඉහත උපුටනය තුළ අන්තර් ගතවී යැයි කීම නිවැරැුදිය. ලෝක ඉතිහාසයේ මානව වර්ගයා අතින් සිදුවූ හෝ අනුමත වූ මානව විරෝධී සාහසික අත්වැරදීම් දෙකක් ඇතැයි මට සිතෙනවාර අනන්තය. එනම් කාර්මික විප්ලවය සහ කාර්මිකකරණය ඉන් එකකි.

අනෙක වන්නේ කාර්මිකකරණය සමඟ අනුබද්ධවෙමින් ඉදිරියට ආ නාගරීකරණයයි. මේ දෙකම මිහිතලයට, මානව සමාජයට සහ විශ්වයට සිදුකර ඇති අපරාධය සුළුපටු නැත. අඥානබව සහ ආත්මාර්ථකාමීබව නිසා සිදුවූ ඒ අත්වැරදි ඥානාන්විතව, මුළුමනින්ම කෙසේවෙතත් යම් පමණකට හෝ හරිගස්සා ගැනීම අත්‍යවශ්‍යය ය. එහෙත් එය ලෙහෙසි නැත. 

මැතිවරණයකින් ආණ්ඩු බලය ලබාගැනීම හෝ බලය ගැට ගසා ගැනීම තරම් ඒ ගැන සිතීමවත් ලෙහෙසි නැත. අප වැනි රටවල බල-ධන-කාම වාදයම පමණක් අරමුණු කොටගෙන ඇති දේශපාලකයන්ට වෙළෙන්දන්ට සහ ඔවුන්ගේ සහචර ජාලයේ පහසුකාරකයන් වන නිලාධිකාරීන්ට ඒ ගැන සිතන්නවත් වුවමනාවක් නැත. පුරා අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔවුන් ඒ බව ඔප්පු කොට ඇත. 

කාර්මික විප්ලවයේ ආක‍්‍රමණයට  සහ බලපෑමට ලංකාව මුළුමනින්ම හසුවී වසර දෙසිය දෙකකි. මෙරටේ හැම හොඳ දෙයක්ම කණපිට හැරුණා නොව විනාශ වුණේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. අද අප අත්විඳින ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය, වෙදකම, පරිපාලනය, අධිකරණය  යනාදී සියල්ල යටත්විජිත හැළියේ තැම්බුණු ඒවාය. ඒ කලාපවල රඟ දක්වන නළු නිළියෝ බොහෝ දුරට යටත්විජිත අවතාර ය. මේ රටේ  ආර්ථික, සමාජයීය, පාරිසරික සහ ආධ්‍යාත්මික අංශ පිරිහුණා යැයි කියනවාට වඩා ගැළපෙන්නේ මෙරට ආර්ථික, සමාජයීය, පාරිසරික  සහ ආධ්‍යාත්මික යන සියලූ_ම කලාපවල මුල් බැසගෙන තිබු ආධ්‍යාත්මික සාර සහ හරවත් සංස්කෘතික පදනම් විනාශ වී ගොස් ඇතැයි කියා පැවසීමය. නැතහොත් විනාශ කොට ඇතැයි පැවසීමය.

එසේම නිදහසින් පසු බලයට පත්වූ සියලූ දේශපාලන පක්ෂ මේ විනාශයෙන් රට සහ ජනතාව බේරා ගැනීම සම්බන්ධයෙන් දක්වා ඇත්තේ අසමත්භාවයකි, නොහැකියාවකි. එහෙත් බලය අල්ලා ගැනීම, බලය සොරකම් කිරීම සහ බලය කොල්ලකෑම යන ත‍්‍රිවිධාකාර වැඩපිළිවෙළක් සහ කුටෝපා අනුගමනය කිරීම අතින් නම් ඔවුන් සහ ඔවුනගේ පක්ෂ අති සමතුන් ය. දේශපාලන බල පංගු වැඩි කරගැනීම සහ බෙදාගැනීම සඳහා විටෙක මැතිවරණත් විටෙක ප‍්‍රචණ්ඩත්වයත් විටෙක කුමන්ත‍්‍රණ සහ ඝාතනත් යොදා ගත් මොවුන්ගේ මුඛ්‍ය අරමුණ වුයේ සමාජය සතු,  ජනයා සතු පොදු බලය, පොදු සම්පත්, පොදු දේපළ සහ පොදු අවකාශ බලහත්කාරයෙන් සහ කුටෝපායන්ගෙන් තම තමන්ගේ පුද්ගලික අයිතියට නතු කර ගැනීමය. මොවුන්ගේ ඊනියා දේශපාලන වෙනස්කම්, ප‍්‍රතිවිරෝධතා සහ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සහ මත ගැටුම් වනාහි අර සමාජය සතු පොදු බලය, පොදු සම්පත්, පොදු දේපළ සහ පොදු අවකාශ අල්ලා ගැනීම, බෙදාගැනීම සහ මංකොල්ලකෑම  සඳහා යළි යළි සිදු කරන සමාජය මුළාවේ දමන කූට උපායන් ය. වෙළඳපොළ සහ නිලාධිකාරය කටයුතු කරන්නේ  ඊට සහායක තර්කන ලෙසය.

එවැනි පසුබිමක පවතින සහ ඔඩුදුවා ඇති තවමත් ඔඩුදුවමින් විනාශයම කරා යන ජන සමාජය හෝ රට ‘අනේ අප මේ මහා විනාශයෙන් බේරාගෙන  අපේ ජීවිත සුඛිත මුදිත කළ මැනවි’ යැයි ඒ විනාශයේ පාර්ශව කරුවන්ගෙන්ම අයැද සිටීම තර්කානුකූල ද? එය අතාර්කික නම් අපට වැරදුණේ කොතැනද? වැරද්දුවේ කවුරුද? කළ යුත්තේ කුමක් ද? 

අප දිගට වරද්දාගත් අය ය. 1505 සිට වරද්දාගත් අප තීරණාත්මකව වරද්දා ගත්තේ 1947 සිටය. ඒ වැරදි අතුරින් එක ප‍්‍රධාන වැරැද්දක් පිළිබඳ පමණක් මෙවර පැහැදිලි කරන්නේ ඒ වැරැද්ද හරිගස්සා ගැනීම සඳහා වූ ක‍්‍රියා පටිපාටියක්  ගැන යම් ආකාරයක යෝජනාවක් ද ඉදිරිපත් කරමිණි. හතළිස් හතේ සිට හැත්තෑ දෙක දක්වා ‘පාර්ලිමේන්තුව’ ලෙසින් ද එතැන් සිට හැත්තෑ අට දක්වා ‘ජාතික රාජ්‍ය සභාව’ ලෙසින් ද ඉන්පසු නැවත ‘පාර්ලිමේන්තුව’ නමින් මේ දක්වාම පවත්වාගෙන එනු ලබන ආයතනය මේ රටේ මහා ප‍්‍රශ්නවලට මුල යැයි කියන්නේ සැකයකින් තොරව ය. එය අපේ රටේ පාර්ලිමේන්තු වේ ප‍්‍රශ්නයක් මිස පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ප‍්‍රශ්නයක් නොවේ. යටත් විජිත තිඹිරිගෙයි උපන් ආගන්තුක ධනවාදය  ස්වදේශික සහචර ධනවාදයක් බවට පත්වුණේ මේ පාර්ලිමේන්තුව සතු විධායක බලය නිසාය. ඒ සහචර ධනවාදය මේ රටේ පොදු ජන සම්පත්, දේපළ සහ අවකාශ විනාශ මුඛයට ගෙන ගියේ අර විමධ්‍යගත පාර්ලිමේන්තු විධායක බලය උපයෝගී කොටගෙන ය. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ අංක එකේ කරුණ වන ප‍්‍රතිපත්ති සම්පාදනය  සහ ඒවාට අදාළ නීති සම්පාදනය නොවැදගත් විය.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ පාරාදීසය විය යුතු පාර්ලිමේන්තුව විධායක බලය ඇති ඇමැති ධුරයක් වෙනුවෙන් පුලන සහ  ඕනෑම සටකපට කමක් කිරීමට කැමතිවුන් වැඩි දෙනකුගෙන් පිරී යෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කවර නම් විකෘතියක් ද? බලය වෙනුවෙන් දෙසිය විසිපහටම හෝ ඇමැතිකම් දීමේ අගෞරවනීය බල පුරුදු ඇති වී තිබෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනය මනාව දන්නා මන්ත‍්‍රීවරයකුට වඩා විධායක බලය ඇති ඇමැතිවරයෙකු කෙරෙහි අසරණ ජනයාගේ ආකර්ෂණය හා ඡන්දය වැඩියෙන් ලැබෙන නිසා ය. ඇමැතිකමක් වෙනුවෙන්  ඕනෑම තැනක  වාඩි වෙන්නේ ඒ නිසාම නොව ඉන් ලැබෙන බලය, ඒ හරහා විවර වෙන ධනෝපායන මාර්ග ගැන ඇති අවබෝධය නිසාය. වැඩිම මනාප සඳහා වූ තරගය, ප‍්‍රචණ්ඩත්වය මෙහි අතුරු එහෙත් භයානක ප‍්‍රතිඵලය.

මේ සියල්ල මැද විනාශ වී ගොස් ඇත්තේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ උත්තරීතර බව රැුකෙන ව්‍යවස්ථාදායක බලය ය. ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවකාශයයි. ඒ නිසාම අපේ රටේ ඇත්තේ විධායකයන්ගේ තන්ත‍්‍රවාදයක් මිස ජනතාවගේ නැතහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෙවේ. මීට විසඳුම කුමක් ද?

රටට අවශ්‍ය ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකි. පාර්ලිමේන්තුවේ  විධායක බලය අතිශයින්ම සීමා කළ යුතුය. යුද්ධය සහ සාමය, මුල්‍ය, ජාතික ආරක්ෂාව, විදේශ කටයුතු යනාදී අතිශයින්ම තීරණාත්මක අංශ පිළිබඳව වන විධායක නියාමන පාර්ලිමේන්තුවට අවශ්‍යය. එහෙත් කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හෝ වරියකට ඇමැති ධුර දීම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුය. ඇමැති ධුරවලට  පත් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් නොවන බාහිර අය ය. එහෙත් නිශ්චිත අමාත්‍යාංශවලට පත් කිරීමට නියමිත අයගේ ලැයිස්තුව ජනාධිපති ධුර අපේක්ෂකයන් විසින් තම ජනාධිපතිවරණ නාම යෝජනාවේ ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළ යුතුය. ඇමැති ධුර නැති පාර්ලිමේන්තුවක් සඳහා බල-ධන-කාම වාදීන්ගේ පෙරේත බැලූම් එල්ල නොවනු ඇත.

මොහොතක් හිතන්න. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සහ ප‍්‍රතිපත්ති සම්පාදනයේ අත්දැකීම් සහ ඥානය ඇති, ජාතික සහ සමාජයීය අභිලාෂ ඇතිවුන්ගේ පාරාදීසයක් පමණක් ම බවට පත් කර ගැනීම  සඳහා පොදුජන බලපෑම් එල්ල කිරීම පටු දේශපාලන පක්ෂ අරමුණුවලින් එහා ගිය ජාතික සහ සමාජයීය කටයුත්තකි. රට මුහුණ දී ඇති ආර්ථික, සමාජයීය, පාරිසරික සහ ආධ්‍යාත්මික පරිහානියට එරෙහිවන පටු දේශපාලන බල  තණ්හාවෙන් තොර   ජාතික වැඩ පිළිවෙළක සාර්ථකත්වය සඳහා යා යුතු ගමන නම් බොහෝ දීර්ඝ ය.