ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා පෙබරවාරි 4 වන දිනට වසර 71 ක් සම්පූර්ණ විය. පසුගිය කාලයේ දී එය මුල් කරගෙන රටක් හැටියට අප ලබා ඇති දේශපාලන හා ආර්ථික නිදහස ගැන කිසියම් ආකාරයේ සාකච්ඡාවක් නිර්මාණය විය. බොහෝ දෙනෙකු නිදහස ගැන කතා කරද්දී වැඩිපුර බර තබන්නේ දේශපාලන නිදහස ගැනය. එහෙත් රටකට ආර්ථික නිදහසක් නොමැතිව පරිපූර්ණ දේශපාලන නිදහසක් අත්පත් කරගත හැකි ද යන්න ප්‍රශ්නයකි. එනිසා අපේ ආර්ථික නිදහසේ පරිමාව ගැන කිසියම් ආකාරයකින් විමසීම වටිනේය. ලංකාවේ වර්තමාන දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87ක් ලෙස සංඛ්‍යාත්මකව පෙන්නුම් කළ ද  එම අගයන්ට වඩා විශාල ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ඇත. කෙසේ වෙතත්, ඩොලර් බිලියන 87ක් වන ආර්ථිකයට  දරාගත නොහැකි තරම් ණය බරක් මේ වන විට ඇති අතර 2019 හා 2022 අතර කාලය තුළ දී ආපසු ගෙවිය යුතු ණය වාරික සහ පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 21ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.

රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. මෙම ණයවලින් 14% ක් චීනය සතු වන අතර ජපානයට 12% ක්, ආසියානු සංවර්ධන බැංකුවට 14% ක් සහ ලෝක බැංකුවට 11% ක් වේ. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 78%  කි. දළ දේශීය නිෂ්පාදිතයේ දළ ණය අනුපාතයක් ලෙස මෙය සලකා බලන විට දකුණු ආසියාතික සහ ආසියානු කලාපය තුළ මෙය ඉතා ඉහළ අගයක් ගනී.  එනිසා ලබාගත් ණය උපයෝජනය උපරිම වන අයුරින් භාවිත කිරීම ද වැදගත්ය. 2010 සිට 2015 දක්වා කාල සීමාව තුළ චීනය විසින් ඩොලර් බිලියන 5ක පමණ ණය ප්‍රමාණයක් ලංකාව වෙත  ලබා දී ඇති අතර  එම ණය මුදල් මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, ගල් අඟුරු බලාගාරයක්, සන්නිවේදන කුළුණක්  සහ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා යොදවා ඇත. 2018 වන විට ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8 ක් පමණ වේ. කෙසේ වෙතත් මෙම ණය මුදල් ආයෝජනය කොට ඇත්තේ මහජනයාට නිසි ප්‍රතිලාභ ලැබෙන අයුරින් නොවන අතර ඇතැම් විට නිසි ප්‍රමිතියෙන් තොර යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහාය. ණය නිසියාකාරව පාවිච්චි කිරීමේ වැදගත්කම මීට පෙර ද අවධාරණය කළේ එහෙයිනි. 

මෙම අවාසනාවන්ත තත්ත්වය මධ්‍යයේ දැකිය හැකි තවත් අයහපත් තත්වයක් වන්නේ ජංගම ගිණුමේ හිඟය දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. ඒ අනුව ඉදිරි මාස 15 තුළ අප විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් පමණ වේ. දේශපාලන නිදහස ගැන බොහෝ දෙනෙකු බර තබා කතා කරනු ඇසුණේ ආර්ථික වශයෙන් ගත් වැරැදි ප්‍රතිපත්ති නිසා ආර්ථික නිදහස ප්‍රශ්න කෙරෙන පසුබිමකය. එහෙත් මූල්‍ය පාලන බලය ප්‍රමුඛ කාර්යය වූ ද රට කරවන්නට නීති තනන්නා වූ ද පාර්ලිමේන්තුවේ අතිබහුතරයකට මේ ගැන නිසි තක්සේරුවක් හෝ වැටහීමක් නැත. ශ්‍රී ලංකාවේ තවත් එක් අවාසනාවක් වන්නේ  වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225  අතුරින් මන්ත්‍රීවරුන් 94 දෙනෙකු  අ.පො.ස. (සා.පෙළ) විභාගය පවා අසමත් වූවන් වීමයි. එබැවින් රටේ ආර්ථිකය තුළ සිදුවන්නේ කුමක්ද යන්න ඔවුනට නොවැටහෙන අතර  වැටහෙන පිරිස පවා  අන්ධයන් සේ කටයුතු කරති. 

ණය ආපසු ගෙවීම්

2019 ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකා රුපියලේ අගය පෙර සිදු නොවූ අයුරින් පහත වැටුණි. එම අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 182.80 ක් වූ අතර දැනට සුළු වශයෙන් යථා තත්වයට පත්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳ පුරෝකථනය නිසැකවම අභියෝගාත්මක විය හැකි නමුත්, සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා  විසින් මෑතක දී එක්තරා රූපවාහිනී වැඩසටහනක දී  පෙන්වා දුන් පරිදි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කළ හැකි තත්ත්වයක පවතී. වෙළඳපොළ  මූලාශ්‍රවලට අනුව මෙම මාසය තුළ දී ශ්‍රී ලංකාව විසින් ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ආපසු  ගෙවා අවසන් කොට ඇත. එසේ  සිදු කිරීමට අරමුදල් සපයා ගෙන ඇත්තේ අපේ විදේශ විනිමය සංචිතයේම ඉතිරි කරගෙන තිබූ මුදල් භාවිතයට ගැනීමෙන් වන අතර ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළින් අරමුදල් රැස් කිරීමට දැරූ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. 2018 දී ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අවපාත තත්ත්වය උග්‍ර වීමට එම කාලසීමාව තුළ රට අභ්‍යන්තරයේ පැවති දේශපාලන අර්බුද තත්ත්වයන් ද හේතු සාධක විය.

2018 අවසාන භාගය වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කළේය. පළමුව ඔහු සිය සර්ව පාක්ෂික රජයෙන් හිටපු අගමැතිවරයා ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා   අගමැති තනතුරට පත් කළ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට නොහැකි  වීමෙන්  ඔහුට එම තනතුරින් ඉවත් වීමට සිදුවිය. ඉන්පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරනු ලැබීය. මේ දේශපාලන බල අරගලය අවසානයේ දී බලපෑවේ නැවතත් අපේ ආර්ථිකයටය.  ලෝකයේ රටවල ආර්ථික ස්ථාවරත්වයේ මට්ටම පිළිබඳව ශ්‍රේණිගත කිරීම් කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයතන දෙකක් වන  “ෆිච්” (Fitch) සහ “ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්” (Standard & Poor) ආයතන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළන ලදී. ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වන විට ජාත්‍යන්තරයෙන් අප ලබා ගන්නා ණය සඳහා දැරිය යුතු  පිරිවැය නිතැතින්ම ඉහළ යාම වැළැක්විය නොහැක. එපමණක් නොව රට තුළ පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳපොළේ සහ බැඳුම්කර වෙළඳපොළේ තිබූ ඩොලර් මිලියන 900ක ප්‍රමාණයක් ලංකාවෙන් ඉවත් කර ගෙන ඇත. තවද මෙම කාල සීමාව  තුළ වැඩි වශයෙන් පාඩු ලැබුවේ සංචාරක ව්‍යාපාරය වන අතර මෙම ක්ෂේත්‍රය ප්‍රශස්ත මට්ටමින් ආදායම් ඉපයිය හැකි කාල සීමාව තුළ ලංකාවට පැමිණීමට තිබූ බොහෝ සංචාරක අවස්ථා මෙම අර්බුදය නිසා අවලංගු වීම එයට හේතු විය.

 2018 දී ශ්‍රී ලංකා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 15% කින් පමණ අවප්‍රමාණය විය. විශේෂයෙන්ම ඊට හේතු සාධක වූයේ ලංකාවේ දුප්පත් ආර්ථික ක්‍රියාකාරිත්වය, ගෝලීය දේශපාලන නොසන්සුන්තාව, එක්සත් ජනපද පොලී අනුපාත වැඩිවීම සහ දේශපාලන කැලඹීම්ය. අප රටේ විදේශ ණය කළඹෙහි විශාලතම කොටස වන්නේ ඩොලරයෙන් ප්‍රකාශිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වේ. එය සමස්ත ණය ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 50%කි. එබැවින්  මෙය නිසැකවම අප හට අභියෝගයකි. මෙහිදී මුහුණු දීමට සිදුවන ප්‍රධානම ගැටලුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහළ නංවන විට අප විසින් ගෙවිය යුතු ඩොලර් ණය ප්‍රමාණය ද ඉහළ යාමයි.

ඉදිරි දැක්ම

මෙම තත්වය මත ආණ්ඩුව තම  ප්‍රාග්ධන ගිණුම ශක්තිමත් කර ගත යුතුය. ඒ සඳහා සෘජු විදේශ ආයෝජන ලංකාවට හැකිතාත්  ආකර්ෂණය කර ගත යුතු අතර අපනයන වර්ධනය කර ගත යුතුය. එහෙත් මෙම අංශ ද්විත්වය ම පවතින්නේ දුෂ්කර තත්වයකය. අප රටට කාලීන ව අවශ්‍ය ව ඇත්තේ ඩොලරයේ ණය ගෙවීම සඳහා ස්ථාවර ඩොලර් ආදායමක් ලැබෙන ක්‍රමයකි. ඒ සඳහා ආණ්ඩුවට යොදාගත හැකි එක් මඟක් වන්නේ සිය ආරම්භක කාලයේ දී ජාත්‍යන්තර වශයෙන් ගොඩ නඟා ගත් විශ්වාසයයි. මෙම ආණ්ඩුවට තවමත් ලෝකයේ ප්‍රසාදය පවතින බැවින් එය මැනවින් ප්‍රයෝජනයට ගෙන ලංකාවේ ආර්ථිකය දිරිගැන්වීමට ක්‍රියාකිරීම මෙම ආණ්ඩුවේ වගකීමයි. බොරු අධිරාජ්‍යවාදීන්ටත් ඊනියා කුමන්ත්‍රණ රෝගීන්ටත් දේශපාලනයේ සංයුක්ත පිළිතුරු ලබා දීමට ද එමගින් හැකි වනු ඇත.

මෙයට වසර 20කට පෙර අපගේ අපනයන ආදායම  දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින්  33%කි.  අද වනවිට එම අගය 13% දක්වා පහත වැටී ඇත. මෙම සංඛ්‍යාත්මක පරතරය සැලකිය යුතු වෙනසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්  පසුගිය කාලවකවානුව තුළ අප රටේ  පැවති අර්බුද හේතුවෙන්  අත්හිටුවා තිබූ ආධාර වැඩසටහන යළි සමාලෝචනය කිරීමට එකඟ වී තිබේ. රජයේ මාධ්‍යවලට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩ් මෙසේ පවසා ඇත. “ලාංකික බලධාරීන්ගේ කර්තව්‍යයන් සාධනය කරගැනීමෙහි ලා ආධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් සූදානම්ව  සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක්  පෙබරවාරි මාසයේ මැද භාගයේ දී ලංකාවට පැමිණීමට නියමිතය.” ලංකාවේ පැත්තෙන් බැලූ විට මෙය යම් සාධනීය තත්ත්වයකි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයත් ආණ්ඩුකරණයෙහි ඒකාධිකාරී පාලනයත් විසින් ගෝලීය වෙළෙඳපොළ සාධක ද බලපෑවේ නිශේධාත්මක ආකාරයටය. අපේ ඇඟලුම් අපනයන වෙළෙඳපොළට සෘජුවම බලපෑම් කළ ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීම ඊට කදිම උදාහරණයකි. එහෙත් ආණ්ඩු මාරුව සමග වූ දේශපාලන වෙනස නිසා නැවතත් එකී වෙළෙඳ සහන අත්පත් කරගැනීමට රටක් හැටියට අපට හැකි විය. 

මේ වන විට ශ්‍රී ලංකාවට  විශාලතම ණය සපයන්නන් වන්නේ චීන සංවර්ධන බැංකුව, ජපාන ආණ්ඩුව සහ ඉන්දීය ආණ්ඩුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවයි. කෙසේ වෙතත්, ගෙවුම් ශේෂ අර්බුදය කළමනාකරණය කිරීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාව මූල්‍යාධාර ලබාගැනීම සඳහා ප්‍රධාන ආසියාතික රටවල් කෙරෙහි නැඹුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. වෙළඳපොළ මූලාශ්‍රවලට අනුව විදේශ ණය පියවා ගැනීමේ දී පෙර නොවූ ආකාරයේ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට මතු වුවහොත් ඒ සඳහා ආධාර ලබාගැනීමට රජය ඉන්දියාව හා චීනය සමග සාකච්ඡා කරමින් සිටී. ඒ අර්ථයෙන් බලද්දී චීන ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිවැරැදි දිශානතියකට යොමු කිරීම අපේ ආර්ථිකයේ යහපත් වෙනසකට බලපානු ඇත.  ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකමක් ලබාදීමට ඉන්දියානු මහ බැංකුව මෙම මාසයේ දී එකඟ වී ඇති අතර චීනයේ මහ බැංකුව ද ඩොලර් මිලියන 300ක ණයක් ලබා දීමට එකඟ වී ඇත. දැනට ලංකාවේ යහපත් බලාපොරොත්තුවකට ඇත්තේ ශ්‍රී ලංකාවේ භූගෝලීය වැදගත්කම සැලකිල්ලට ගෙන චීන හා ඉන්දියානු මහ බැංකු ලංකාවට ආධාර කිරීමට වැඩි උනන්දුවක් පෙන්නුම් කිරීමයි. මේ අතර කෙටි කාලයක් තුළ සෘජු විදේශ ආයෝජන ලංකාවට ආකර්ෂණය කර ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමාණවත්  දීමනා (ණය නොවන) ලබා ගැනීමට සහ අපනයනයන් ඉහළ නැංවීමටත් ශ්‍රී ලාංකික රජය කටයුතු කළ යුතුය. අවාසනාවට අපට ඇත්තේ අශ්වයාට කලින් කරත්තය යන ඉතිහාසයකි.