(කොළඹ සරසවියේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය අංශයේ  - ධම්ම දිසානායක )

ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පොදු ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරක් නොවුණත් අනිකුත් සකලාකාරයේ ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදවලින් මිරිකී සිටින ඔවුන්ට මේ අර්බුදය ගැනත් සිතන්නට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ප්‍රබලය..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිළිබඳ ‘යහපාලන ආණ්ඩුව’ ගෙන ඇති තීරණය අර ඉහත කී අර්බුද ගැන ජනයාගේ සිතීම හෝ කල්පනාව වෙනතකට හැරවීමට ගන්නා උත්සාහයකි, එසේම එය දේශපාලන උප්පරවැට්ටියකි  යන්න ද  සමාජයේ බොහෝ දෙනා සතුව ඇති මතයකි. ඒ සියල්ලටම වඩා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඇතුළු ‘යහපාලන’ ආණ්ඩුවේ ‘ව්‍යවස්ථා සම්පාදකයන්’ විසින් සමාජය තුළ වක්‍ර මාර්ගයකින් ගිනි අවුළුවා ඇති කාරණය වන්නේ නව ව්‍යවස්ථාව ‘නිරාගමික’ එනම් ආණ්ඩුව සහ ආගම අතර තීරණාත්මක බෙදීමක් ඇති කරන නැතහොත් බුද්ධාගමට දී තිබෙන ස්ථානය අහෝසි කරන එකක්ය යන්නය. දී ඇති ප්‍රමුඛ ස්ථානය හුදු ලිඛිත වාක්‍ය කීපයක් පමණය යන්න ගෙවුණු අවුරුදු හතළිස් පහක් තිස්සේ බලයට පත් වූ සියලූ පාලක හවුල් විසින් මැනවින් ඔප්පුකොට තිබුණ ද මේ අලංකාරිකයට තිබෙන සමාජ වටිනාකම නම් තවමත් සුළුපටු නැත.

 එසේම ජනයා රැවටීමේ මෙවලමක් ලෙස මේ අලංකාරිකය භාවිත කරන පාලකයන් බෞද්ධ දර්ශනයේ පැවැත්මට, භික්ෂු සංස්ථාවට සහ බෞද්ධ ප්‍රජාව බෞද්ධ නාමයෙන් ගුණාත්මකව කරන ලද මහ ලොකු දෙයකුත් නැත. එක අතකින් මේ තීරණය වනාහි මේ රටේ ස්වදේශික ජනයා නොව ඔවුනට එරෙහි බලවේගවල බළල් අත් විසින් සිදු කරනු ලබන්නක් බවට පවතින මතය ද බැහැර කළ නොහැක්කකි. එවැනි පසුබිමක මෙවර ලිපියේ අරමුණ වන්නේ මේ නිරාගමික ව්‍යවස්ථා පිළිබඳ සංවාදයේ අවධානයට ලක් නොවූ පැති කීපයක් දෙසට පාඨක භවතුන්ගේ සිතාබැලීම හැරවීමටයි.

ආගමක් යනු කුමක්ද යන්නට දියහැකි ඉතා සරල පිළිතුරකින් ඒ හැරවීම පටන් ගනිමු. ඒ සරල පිළිතුර ද මදක් සංකීර්ණ වුවත් සෙමින් තේරුම් ගතහොත් බොහෝ දෑ පසුව පාඨකයාට වටහා ගැනීමට එය උපකාර වනු ඇත. එසේම ඔබගේ දේශපාලන සමාජ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම ද මේ ලිපි පෙළේ සහ ලංකාදීපයෙහි ද අරමුණක් වන නිසා සමහර සංකීර්ණ දෑ වටහා ගැනීම යෝග්‍ය යැයි ද යෝජනා කරමි. ආගමක් යනු සංස්කෘතික පද්ධතියකි. එනම් මානව සංහතියේ පැවැත්මට අදාළ චර්යා සහ භාවිත, ලෝක දැක්මවල්, විශ්වාස, අධි භෞතික දෙයක් හෝ දේවල්, ශුද්ධ ලියවිලි, පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන, ආචාර ධර්ම සහ සමාජයීය සංවිධාන සහිත සංස්කෘතික පද්ධතියකි. බොහෝ ආගම්, ආගම් බවට පරිවර්තනය වීමට පෙර පීඩිතයන්ගේ විමුක්ති ව්‍යාපාරයෝ ය. පසුව ඒවා රැවටිලිකාර පීඩකයන්ගේ පීඩක උපකරණ වූ බවට ද මතයක් වේ.

මේ සියල්ල මැද බුද්ධාගම වැනි ‘ආගමක්’ සතු දාර්ශනික සහ විමුක්තිදායී ලෝක දැක්ම සහ වැඩපිළිවෙළ ‘ආගම’ නමැති මහා ගංගාව දිගේ මකර කටට යැවීම නම් ලොව කිසිදු ප්‍රඥාවන්තයකු අනුමත නොකරන දෙයකි.

‘නිරාගමිකවාදය’ යනු ඉතා සරලව, පැහැදිලි කළහොත් ආගමික ආයතන සහ ආගමික ප‍්‍රධානීන් ආණ්ඩුවෙන් සහ රාජ්‍ය පාලන කටයුතුවලින් වෙන්කොට දුරුකොට තැබීමය. තවද රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හෝ ප‍්‍රාන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ හෝ යම් ආගමකට විශේෂ අදාළතාවක් හෝ සැලකිල්ලක් දක්වා නොතිබීමය. එහෙත් නිරාගමික රටවල් යැයි නම්කරන ලද සමහර රටවල ආගමික, වාර්ගික, ගෝත‍්‍රික සහ කුල ගැටුම් අන්තයටම උත්සන්න වී තිබීමත් ආගමික යැයි නම්කොට ඇති බොහෝ රටවල පවතින සාමකාමී තත්ත්වයන් විසින් පෙන්නුම් කරන්නේ මේ නිරාගමික ක්‍රියාවලිය කෝකටත් තෛලයක් නොවන බවය. එහෙත් මේ රටේ සමහර ‘ව්‍යවස්ථා සම්පාදකයෝ’ විලාසිතාවාදීහුය. සමහර අය ඊට වඩා භයානක ස්වදේශික විරෝධීහුය. ගෝලීය ධනාගම්වාදීහුය.

ලෝකයේත් මේ රටෙත් බොහෝ පාලකයන්ගේ, වෙළෙන්දන්ගේ සහ නිලබලවතුන්ගේ ආගම ධනාගම (වෙළෙඳාගම) ය. ආගමක් යනු සංස්කෘතික පද්ධතියකි යනුවෙන් ඉහත කළ පැහැදිලි කිරීම අදාළ කරගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එනම් මානව සංහතියේ පැවැත්මට අදාළ චර්යා සහ භාවිතා, ලෝක දැක්මවල්, විශ්වාස, අධි භෞතික දෙයක් හෝ දේවල්, ශුද්ධ ලියවිලි, පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන, ආචාර ධර්ම සහ සමාජයීය සංවිධාන සහිත සංස්කෘතික පද්ධතියකි. මේ ධනාගමිකයන්ගේ සංස්කෘතිය ධනේශ්වර එකකි. චර්යා සහ භාවිතා ද එසේම ය.

ලෝක දැක්ම වෙළෙඳවාදී ය. විශ්වාසය රඳවා ඇත්තේ ධන සමුච්ඡනය කෙරෙහි ය. ඔවුන්ව මෙහෙයවන අධි භෞතික බලවේග වන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක වෙළෙඳ සංවිධානය වැනි දේව සමාගම්ය. ශුද්ධ ලියවිලි වන්නේ එම දේව සමාගම් විසින් සියලු දේව රහස් සහිතව ලියන ලද ශුද්ධ ගිවිසුම්, සුත්‍ර සහ ශ්ලෝක ය. පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන වන්නේ ජිනීවා, වොෂින්ටන්, ඔස්ලෝ, ලන්ඩන්, බෙයිජිං, නවදිල්ලි සහ සිංගප්පූරුව යනාදී තැන් ය. ලංකාවට දේව දුතයන්, ශුද්ධ වූ ධනාගමික ශාස්තෘන් සහ අති උතුම් පූජකයන් වැඩමවන්නේ සහ වඩින්නේ ඒ ශුද්ධ වූ භූමිවලින් ය. හැබැයි මේ ධනාගම කටයුතු කරන්නේ මානව වර්ගයාගේ විනාශය වෙනුවෙන් මිස යහ පැවැත්ම වෙනුවෙන් නම් නොවේ.

ලංකාවේ අනාධාත්මිකකරණය නැතහොත් ආධ්‍යාත්මිකහරණය ගැබ් ගන්නේ 1975 දීය. ඒ සම්භාව්‍ය වමට රටේ ආණ්ඩුකරණය තුළ තිබූ පාර්ශවීය කොටස අහිමිවීමත් සමඟය. එහෙත් උපතේදීම මියයාමට ඉඩ තිබූ එයට උපතක් දී රැකගෙන නව ජීවයක් දී ලොකු මහත්කොට රැකගෙන මහා තිමිංගලයකු බවට  පත් කළේ 1977 දී බලයට පත් එජාප ය සහ එජාප සංස්කෘතිය ය. ඒ සඳහා ඔවුන් මුලින් ම සිදුකළේ ඉතිහාසහරණය ය. ඒ පාසල් පාඨමාලාවලින් ඉතිහාස විෂය ඉවත් කිරීමෙනි. රටේ ඉදිරි පරම්පරා ඉතිහාසයක් නැති සහ තිබුණා යැයි නොදන්නවුන් බවට පත් කළේ එලෙසිනි. ඊළඟට ඊට සමගාමීව සිදු කළේ සංස්කෘතික හරණයයි. විවෘත ආර්ථිකයේ නිර්බාධ වෙළෙඳාම මඟින් ස්වදේශික කලාව, සාහිත්‍යය, සංගීතය සහ සෞන්දර්ය විනාශ කළේ ඒවා පාදඩ සංස්කෘතියක මිනුම් දඬු මඟින් නින්දාවට සහ ගරහාවට ලක් කරමිනි. ඉතිහාසහරණය සහ සංස්කෘතිකහරණය මඟින් තීරණාත්මකව සිදුකළේ අර ඉහත කී ධනාගමට අවශ්‍ය පරිසරය සැකසෙන සේ සමස්ත සමාජයම අනාධ්‍යාත්මික කිරීමය. එනම් සමාජය ආධ්‍යාත්මිකහරණයකට ලක් කිරීමය. අද අප දකින්නේ එහි ප්‍රති විපාක සහ තවදුරටත් එය වේගවත් කර ඇතිකමේ බිහිසුණු විනාශයය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  නිරාගමික නැතහොත් ආධ්‍යාත්මිකහරණයකට ලක් කිරීමට පෙර මේ බල හවුල වසර හතළිහක් තිස්සේ සිදු කළේ ඊට අදාළ බිම් සැකසීමය. එය බොහෝ දුරට සාර්ථකය. මේ වනවිට සමාජයේ සියලූ  පැතිවල මානව සබඳතා නැතහොත් මනුෂ්‍ය සම්බන්ධතා නිරාගමිකය. අනාධ්‍යාත්මිකය. පෙම්වතා සහ පෙම්වතිය, බිරිඳ සහ සැමියා, දරුවන් සහ මවුපියන්, බාලයන් සහ වැඩිහිටියන්, ගුරුන් සහ සිසුන්, පූජකයන් සහ අනුගාමිකයන්, ජනතා නියෝජිතයන් සහ ජනතාව, නිලධාරීන් සහ ජනතාව, වෙළෙන්දන් සහ පාරිභෝගිකයන්, කලාකරුවන් සහ රසිකයන්, වෙදුන් සහ රෝගීන්, පක්ෂ සහ සාමාජිකයන්, කලාව සහ කලාකරුවන්, දේශපාලනය සහ ක්‍රියාධරයන්, පොදු දේපළ සහ පරිහරණය කරන්නන් සහ කොන්දොස්තර සහ මගීන් යනාදී එදිනෙදා ජීවිතයේ කිසිදු මනුස්ස සම්බන්ධතාවක් නැත. ආගමික නැත එනම් විශ්වාසනීය නැත. ගෞරවාන්විත නැත. ඒ නිසාම පූජනීය නැත. සියල්ල නිරාගමිකය. අනාධ්‍යාත්මිකය. සියල්ල සහ සියලූ_ සම්බන්ධතා භාණ්ඩකරණය වී ඇත. සියල්ල වෙළෙඳපොළකරණය වී ඇත. මේ නම් අතිශයින්ම විස්මයජනක සහ සාර්ථක බිම් සැකසීමකි.

ආගමිකභාවයේ සහ බීජ ඇතැයි සැලකෙන සමාජ භූමියේ මතුපිට පස මුළුමනින්ම වාගේ ඩෝසර් කර ඇත. එහෙත් යටි පසේ හෝ සමහරවිට ඊටත් යටින් ජීර්ණය වෙමින් පවතින පාෂාණවල හෝ අර ආගමිකභාවයේ සහ ආධ්‍යාත්මික භාවයේ බීජ, මුල් හෝ අඩුම තරමින් ජාන වත් ඇතැයි සැක සිතී  යම් දවසක ඒවා පැළවෙනු ඇතැයි බියෙන් කටයුතු කරන ආචාර්ය වික‍්‍රමරත්න වැනි ‘ව්‍යවස්ථා සම්පාදකයන්’ ට දැන් කිරීමට ඇත්තේ එකම දෙයකි. එනම් එසේ රෝපණය වුවොත් ඊට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකි වන පරිදි, සුබ නැකතක් බලා ‘නිරාගමික ව්‍යවස්ථා නමින් නමක් රෙජිස්ටර් කිරීමය.

ඒ කවරක් කළත් මේ රටේ පොදු ජනතාව වටහා ගතයුතු කරුණක් වන්නේ මේ ‘සම්පාදකයන්’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිරාගමික කිරීමට, අනාධාත්මික කිරීමට මහන්සි ගන්නේ, ආගම ගැලවීමට උත්සාහ කරන්නේ, ඒ ආගම ගලවා ධනාගම ව්‍යවස්ථාවෙන්ම, ව්‍යවස්ථාවේ ඇලවීමට බවය. අවසානයේ කීමට ඇත්තේ ආත්තම්මලාගේ උපැස් පැළඳ ඔවුන්ගේ ඇඳුම් ඇඳ පොරෝනාවලින් ගත වසාගත් වෘකයන්ගෙන් දරුවන් බේරාගන්නා දර කපන්නන් සඳහා ඇබෑර්තු ඇත යනුවෙනි.