සරත් එදිරිසූරිය - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා කටයුතු කළේය. කොළඹ සරසවියේ නීති පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකි. දයා පතිරණ 1986 දෙසැම්බර් 15 ඝාතනය වීමත් සමගම සරත් භූගත දේශපාලනයට යොමුවිය. කෑගල්ලේ ඉපිද කෑගල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලත් සරත් බ්ලොම් නේවාසිකාගාරයේ නැවතී සිටියේය. සරත් කුඩා කාලයේදීම මව මියයෑමෙන් අනතුරුව පියා ඔහු හැරගොස් තිබිණි. සරසවියට ඇතුළත්වන විටද ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු විය. ඒ ඔහු හදා වඩාගත් අයද ජවිපෙ සාමාජිකයන් වූ බැවිනි.


භූගත නායකත්වයට දක්ෂකම් ඇත්තෙකු වුවද විවෘත නායකත්වයට අදක්ෂයෙකි. අන්තරේ නායකයා වුවද කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලයට එරෙහිව නායකත්වය දීමට ඔහුට නොහැකි විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලය මුළුමනින් පරාජය කර ඔවුන් පලවාහැරියේ විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායමේ නායකත්වයෙනි. ගංගාරාමය අසලදී 1989 අගභාගයේදී ඔහු පැහැරගත් ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවි නීති පීඨයේ වධකාගාරයට රැගෙනවිත් තිරස්චීන වධ බන්ධනවලට ලක්කර ඝාතනය කරන ලදී.


මච්චාගම සේනාරත්න - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1987 ජූනි සිට 1988 පෙබරවාරි දක්වා කටයුතු කළේය. කැලණි සරසරවියේ මානව සහ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකි. අනුරාධපුරයේ මැකිච්චාවල සිප්පුකුලම ග්‍රාමයේ උපන් ඔහුගේ සම්පූර්ණ නම බණ්ඩාගේ මච්චාගම සේනාරත්නය.


වීරසූරිය සමරුව වෙනුවෙන් 1986 නොවැම්බර් 12 මහජන පුස්තකාලයේ පවත්වන ලද දැවැන්ත ප්‍රදර්ශනයේ සංවිධායකවරයාය. 1987 මැයි දින තහනමට එරෙහිව රැස්වීම අභයාරාමයේ සංවිධානය කිරීමට මුල් වූ කිහිප දෙනා අතර ඔහුද විය. පසුව එහිදී සිදුවන ඝාතනවලට එරෙහිව රටපුරා ශිෂ්‍ය උද්ඝෝෂණයක් මෙහෙයවීමට දායක විය. පසුව ත්‍රි’මලේ දිසා ලේකම් විය. හබරණදී 1989 දෙසැම්බර් මස අත්අඩංගුවට ගෙන මින්නේරිය යුධ හමුදා කඳවුරේ රඳවාගෙන පසුව කොළඹට රැගෙන එන ලදී. ඝාතනයට ලක් වූ ඔහුගේ සිරුර මොරටුව ගඟේ දක්නට ලැබුණු බව කියති. 


නිමල් බාලසූරිය - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මාර්තු 1 සිට 1988 මැයි 8 දක්වා කටයුතු කළේය. සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. කුරුණෑගල හෙට්ටිපොල උපන් බාලසූරිය බෝම්බයක් රැගෙන අදාළ ඉලක්කය පෙන්වීමට යද්දී එම බෝම්බය පිපිරී 1988 මැයි 8 වැල්ලවත්ත කුරේ මාවතේදී ජීවිතක්ෂයට පත්විය. (වැඩි විසතර සඳහා පිටු අංක 655 බලන්න)
වෙනුර එදිරිසිංහ - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්වා කටයුතු කළේය. කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු වූ වෙනුර වර්ධිත මාරවිල මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. වසර 1989 සැප්තැම්බර් 21 ඝාතනය කරන ලදී.
උදේනි බන්දුල දිසානායක - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1989 ජුනි සිට 1989 නොවැම්බර් දක්වා කටයුතු කළේය. කෑගල්ලේ වරකාපොල සහ ගලිගමුව අතර පිහිටි යට්ටෝගොඩ පදිංචිකරුවෙකු වූ ඔහු පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකි. දැදිගම පැරකුම්බා මධ්‍ය මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උදේනිට අජිත්, රෝහණ සහ සුමිත් යනුවෙන් වැඩිමහල් සොහොයුරන් තිදෙනෙකි. පොළොන්නරුව නිජබිම කරගත් පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව කෑගල්ල රෝහලේ සේවය කළාය. උදේනි උසස් පෙළ විෂයන් සඳහා 1983 දී කෑගල්ලේ පෞද්ගලික උපකාරක පන්තිවලට යෑමේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ සිසිර කුමාර ඇතුළු පසු කලෙක පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළු වූ මිතුරන් හඳුනාගැනීමට ලැබිණි.


ඉතා දුෂ්කර සහ අසීරු අවස්ථාවක අන්තරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ උදේනි අත්අඩංගුවට ගත් සරසවි සිසුන් නිදහස්කර ගැනීම සඳහා රජයේ අදාළ අංශ සමඟ නිරතුරුව සාකච්ඡාවන්ටද සහභාගි විය. අවසාන වශයෙන් කෑගල්ල නිවසට 1989 දෙසැම්බර් 16 පැමිණි අතර කොළඹ බලා එමින් සිටියදී 1989 දෙසැම්බර් 27 පෑලියගොඩ දී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව පොළොන්නරුව මැදිරිගිරිය මීගස්වැව කඳවුරට රැගෙන ගියේය. පසුව කොළඹට රැගෙන විත් බෞද්ධාලෝක මාවතේ රහසිගත වධකඳවුරක රඳවා තබන ලදී. පසුව 1990 ජනවාරි 28 ඝාතනයට ලක්විය. ඔහුගේ එක් සොහොයුරෙකු හමුදාවේ සේවය කළ අතර ඔහු හදිසි අනතුරකින් මියගොස් තිබුණේද ඉන් සති කිහිපයකට පසුවය. උදේනි ඇතුළු සරසවි සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් ඔහුගේ සොහොයුරෙකු වූ අජිත් පාලිත මානව හිමිකම් සංවිධාන ගණනාවකට පැමිණිලි ඉදිරිපත්කර තිබිණි.


සිසිර කීර්ති ජයවර්ධන - අන්තරේ කැඳවුම්කරු ලෙස 1989 නොවැම්බර් සිට 1989 දෙසැම්බර් දක්වා කටයුතු කළ සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවෙකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984 දී මුළු දිවයිනේ සිව්වැනි ස්ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වෙද සිසු හඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. දක්ෂ ලේඛකයෙකි. දැඩි මර්දනය තුළ විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශි කිරීමට කටයුතු කළේය.


අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1989 නොවැම්බර් 2 සිට දෙසැම්බර් 17 අත්අඩංගුවට ගන්නා තෙක් කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17 පස්වරු 4.00 ට කොළඹ මහජන පුස්තකාලය අසලදී එල්. 200 සුදු වෑන් රථයකින් පැහැරගෙන යන ලදී. පසුව හැව්ලොක් පෙදෙසේ හෙන්රි පේදිරිස් ක්‍රීඩා මණ්ඩප වධකාගාරයේ සහ තිඹිරිගස්යායේ යටෝරෝ වධකාගාරයේ සතියක කාලයක් රඳවා ගැනීමෙන් අනතුරුව 1989 දෙසැම්බර් 28 ඝාතනයට ලක්විය.


අතුල සේනාරත්න - අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්වාද 1990 මැයි සිට 1990 අගෝස්තු දක්වාද කටයුතු කළේය. කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යයෙකි. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වෙද සිසු හඬ පුවත්පතේ සංස්කාරකවරයෙකි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් අතුල සේනාරත්න, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පොඩිබණ්ඩා සහ සරත් විජේවර්ධනගේ මැදිහත්වීමෙන් 1990 අගෝස්තු මාසය වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැවත පණ ගන්වනු ලැබීය. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි එකතු කිරීමට කටයුතු කළේය. වසර 1990 මාර්තු මස අත්අඩංගුවට පත්වූවද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. 


මේඝය නමැති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මගින් බිඳී තිබූ බොහෝ සබඳතා අලුත් කිරීමට හෙතෙම සමත් විය. පුවත්පත් නිවේදනද නිකුත් කළේ ඔහුය.


කහ උණ සෑදී වැදගත් සම්බන්ධීකරණ රැස්වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත යළිත් බොරැල්ලේදී 1990 අගෝස්තු 12 අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරින්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරයට ගෙන ආ අතර පසුව 1990 සැප්තැම්බර් 17 ඝාතනයට ලක්විය. 


ජවිපෙ පොදු පෙරමුණ ආණ්ඩුව සමඟ සභාගයකට අවතිර්ණ වීමෙන් පසු මහපොල භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද අන්තරේ නියෝජිතයෙකු 2004 පත්කරගන්නා ලදී. වසර 2006 දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ නිල සාකච්ඡා ගණනාවක් පැවැත් වූ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති තනතුරට සලකා බැලීම සඳහා නාමයන් යෝජනා කරන ලෙසටද රජය අන්තරයෙන් ඉල්ලා සිටියේය.


අන්තරේ 1990 මැයි සිට 2016 දක්වා කැඳවුම්කරු වශයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ උපාලි බණ්ඩාර (1990 සැප්තැම්බර් සිට 1991 ජනවාරි දක්වා), කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ සුදත් අලහකෝන් (1991 පෙබරවාරි සිට 1992 අප්‍රේල් දක්වා), කැලණිය සමාජ විද්‍යා පීඨයේ විරාජ් පෙරේරා (1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා), කැලණිය විද්‍යා පීඨයේ ඩී. හේරත් (1993 මාර්තු සිට 1994 මාර්තු දක්වා), පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රෝහිත තිලකරත්න (1994 සිට 1995 දක්වා), ජයවර්ධනපුර කළමනාකරණ පීඨයේ සුනිල් හඳුන්නෙත්ති. (1995 සිට 1997 දක්වා), පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ චන්දන බණ්ඩාර (1997 සිට 1998 දක්වා), කොළඹ ශාස්ත්‍ර පීඨයේ කලවැල්ලගල චන්ද්‍රාලෝක හිමි (1998 සිට 1999 දක්වා), කැලණිය විද්‍යා පීඨයේ ධම්මික මදුරප්පෙරුම (1999 සිට 2000 දක්වා), කැලණිය ශාස්ත්‍ර පීඨයේ චමීර කොස්වත්ත (2000 සිට 2001 දක්වා), රුහුණු කළමනාකරණ පීඨයේ රවින්ද්‍ර මුදලිගේ (2002 ඔක්තෝබර් සිට 2004 අප්‍රේල් දක්වා) පේරාදෙණිය විද්‍යා පීඨයේ දුමින්ද නාගමුව (2004 මැයි සිට 2006 අගෝස්තු දක්වා), පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ උදුල් ප්‍රේමරත්න (2006 සැප්තැම්බර් සිට 2009 අගෝස්තු දක්වා), රුහුණු කළමනාකරණ පීඨයේ සංජීව බණ්ඩාර (2009 සැප්තැම්බර් සිට 2014 ජනවාරි දක්වා), කොළඹ වෛද්‍ය පීඨයේ නජිත් ඉන්දික (2014 පෙබරවාරි සිට 2015 සැප්තැම්බර් දක්වා), රජරට ව්‍යවහාරික විද්‍යා පීඨයේ ළහිරු වීරසේකර (2015 සැප්තැම්බර් 12 සිට) යන අය කටයුතු කර ඇත.