IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ව්‍යාධිය

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශ රටේ අවධානයට ලක්වෙයි. ඒ මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති වශයෙන් පසුගියදා අපගේ ලංකාදීප පුවත්පතට ලබා දී තිබූ සාකච්ඡාවකදී පළකළ ඇතැම් අදහස් ද සියලුදෙනාගේ අවධානයට ලක් විය යුතු යැයි අපි සිතමු. පාර්ලිමේන්තුවේ මූලික කාර්යයක් වන මූල්‍ය පාලන බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ක්‍රියාත්මක වීමේදී හෙළිදරව් වන කරුණු ඇසුරින් ඔහු අදහස් ගණනාවක් ප්‍රකාශ කර තිබිණි. ඒ අතුරින් රජයේ වාහන භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ දැඩි විවේචනය ඔහු හෙළි කළේය.

ඇමැතිවරයකු මාරුවී අලුත් ඇමැතිවරයකු පත් වූ විට ඔහුට හිමි නිල රථය ද අලුත් වන බව ඔහු කියයි. ලංකාවේ දේශපාලනය තුළ පවතින මේ තත්ත්වය ඔහු දකින්නේ ව්‍යාධියක් වශයෙනි. එහෙත් මෙහිදී මතුවන ප්‍රධානම කරුණක් වන්නේ අලුත් රථයක් අලුත් ඇමැතිට ලැබුණත් පරණ රථයට සිදුවන දෙයක් සොයාගත නොහැකි වීමය. සිදුවිය යුත්තේ අලුත් රථයක් ඇමැතිවරයකුට ගෙන්වා දුන් විට පැරැණි රථය ආපසු මුදල් අමාත්‍යාංශයට ගෙන්වා ගැනීමය. එහෙත් හැමවිටම එය එසේ සිදුවන්නේ නැති බව ඔහු පෙන්වා දෙයි. පැරැණි වාහනයට සිදුවන්නේ කුමක්දැයි කවුරුත් හරියට දන්නේ නැත. එහෙත් අදාළ අමාත්‍යාංශයේ සීමිත පිරිසක් එය දැන සිටින බව අපගේ අදහසය. එහෙත් දන්නා දෙය ඔවුන් වමාරන්නේ නැත. පැරැණි වාහනය පාවිච්චියට ගැනීම එසේ මෙසේ කෙනකුට කළ නොහැකි බව ඔවුන් දන්නා නිසාය. මේ හේතුවෙන් අලුතින් ඇමැතිවරයකු පත් වූ විට ඔහුට අලුත්ම කාර් එකක් නොව දෙක තුනක් වුවද ගෙන්වා දීමට ඉදිරිපත් වන පිරිසක් බිහිවීම ද අපේක්ෂා කළ යුතුය.

කාලයක් තිස්සේ සිදුවන බව කියන මේ “අපරාධයට” හේතුව නිල රථවාහන ලේඛනගත වීමක් සිදු නොවීමය. කිසිම ඇමැතිවරයකු මේ කාලයේ රුපියල් කෝටි දෙක තුනකට අඩු වාහනයක් නම් ඇණවුම් නොකරන බව කුඩා දරුවෙක් වුවද දැන සිටියි. මෙසේ කෝටි ගණන් වටිනා වාහන පිළිබඳව ලේඛන පවත්වා ගැනීමේ වගකීම පැවරෙන්නේ අමාත්‍යාංශයේ නිලධාරීන්ටය. එහෙත් එවැනි ලේඛන පවත්වා ගැනීමක් නැත. එසේ කළයුතු බවට නියෝග ලැබෙන්නේ ද නැත.

සුමන්තිරන් මහතා පෙන්වා දී තිබුණේ ලේඛන නඩත්තු කළහොත් වාහනවලට සිදුවූයේ කුමක්දැයි කියා උත්තර බඳින්නට සිදුවන බවය. මෙය පැහැදිලිවම දූෂණයට පාර කපාදීමකි. ඇමැතිවරුන්ට ඕනෑ ඕනෑ හැටියට වාහන අලුතින්ම ආනයනය කරදෙනු ලබන මහා භාණ්ඩාගාරයට ද මෙහිදී වගකීමක් පැවරෙයි. රජයට අයත් මෙවැනි දේපළ ලියාපදිංචි කෙරෙන ලේඛනයක් සකසන්නැයි රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඊට නියෝගයක් නිකුත් කළ ද මේ වනතුරු එවැනි ලේඛනයක් සකස් කර නැතැයි සුමන්තිරන් මහතා සඳහන් කර තිබිණි. එසේ නම් භාණ්ඩාගාරය එහිදී කර ඇත්තේ රටේ මහජනතාවගේ බදු මුදල් සම්බන්ධ වගකීමක් පැහැර හැරීමක් බව පෙන්වා දිය යුතුය.

ඇමැතිවරුන්ගේ අලුත් වාහන මේනියාව නැතහොත් “රථගාය” වශයෙන් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන ලෙඩේට කිසිම රජයකින් බෙහෙත් දෙන පාටක් පෙනෙන්නට නැත. කාලයකට ඉහතදී ආණ්ඩුව පැරදී ඇමැති පට්ටම ගැලවී ගිය එක් දේශපාලනඥයකු භාවිත කළ වාහන සංඛ්‍යාව 30කටත් වඩා අධික වූ බව හෙළිදරව් විය. ඒ වනතුරු අදාළ දේශපාලනඥයා ඒ තරම් වාහන සංඛ්‍යාවක් තමන් භාවිත කළ බව නොදැන සිටි බව ද සඳහන් විය. සුමන්තිරන් මහතා අද පෙන්වා දෙන මේ ව්‍යාධියේ එක් බරපතළ අවස්ථාවක් එදා සිදුවූ අයුරු මෙහි සඳහන් කළේ මැති ඇමැතිවරුන්ට ලබාදෙන වාහන ලේඛනගත නොකිරීම කොතරම් බරපතළ දූෂණයක්දැයි පෙන්වාදීමටය.

ඇමැතිවරුන් කිසිවකුත් අලුත් වාහන ගෙන්වා ගන්නේ තමන්ගේ පෞද්ගලික ධනයෙන් නොවේ. ඒ සඳහා වැය කෙරෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල්ය. ඇමැති - රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති වශයෙන් පදවි තානාන්තර තිස් හතළිස් ගණන් පවතින විට ඔවුන් සඳහා අලුත්ම වාහන ගෙන්වා ගැනීමට කෝටි සිය ගණනින් මුදල් වැයකළ යුතු වෙයි. ඒ වාහන ආපසු මුදල් අමාත්‍යාංශයට ගෙන්වා ගෙන අවශ්‍යම රාජකාරි සඳහා යෙදවිය හැකි නම් එවිට යම් තරමකින් හෝ සිදුවන අලාභය අඩුකර ගත හැකිවනු ඇත. එහෙත් එවැනි වාහනවලට ඉන්ධන පිරිමැස්මක් නොමැතිවීම නිසා ඒවා රාජකාරි සඳහා යොදවා ගැනීම ද එක් අතකින් දැරිය නොහැකි වියදමක් වීමට ද ඉඩ තිබේ.

මේ රටේ ජාතික ප්‍රතිපත්ති සැකසිය යුත්තේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය වැනි විෂයයන් සම්බන්ධයෙන් පමණක් නොවන බව ඉහත සඳහන් කරුණුවලින් හොඳින් පැහැදිලි වෙයි. ඇමැතිවරුන්ගේ පොදු වියදම් සම්බන්ධයෙන් ද රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට මෙය සිහිකැඳවීමකි. එවැනි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන විට අඩුම වශයෙන් ඇමැතිවරුන් ගෙන්වා ගන්නා අලුත් වාහන ලේඛනගත කිරීම හෝ සිදුකළ හැකිය. වාහන ලේඛනගත කළොත් ඒවාට සිදුවන දේ සොයාගැනීම දුෂ්කර කටයුත්තක් නොවනු ඇත. ඇමැතිවරුන් භාවිත කරන අලුත් වාහන හේතුවෙන් සිදුවිය හැකි දූෂණය වළක්වා ගැනීමට එයින් මඟක් පාදාගත හැකිය. රටටම ජාතික ප්‍රතිපත්ති සැකසීමට කටයුතු කරන ඇමැතිවරුන්ට තමන්ගේ වාහන සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කරගැනීම අමාරු කාර්යයක් විය නොහැකි බව අපගේ විශ්වාසයයි.

ඇමැතිවරුන් ලබාගන්නා අලුත් වාහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් වුවද හඬ නගන්නේ කලාතුරකිනි. කවදා හෝ පිහිටුවන රජයක තමන් ද ඇමැතිවරුන් වීමට දකින සිහිනය හේතුවෙන් එසේ සිදුවනවා විය හැක. එහෙත් පවතින මේ විෂම තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ කිසියම් දැනුම්වත් වීමක් අවශ්‍යය. අනවශ්‍ය ලෙස සිදුකෙරෙන නාස්තිය හා දූෂණය වළක්වා ගැනීමට එය රුකුලක් වනු ඇත. රාජ්‍ය මූල්‍ය කාරක සභාව “අලුත් නිල රථ ව්‍යාධිය” ඇතුළු තම විෂය පථයට වැටෙන තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ප්‍රකාශ කරයි. එය යහපත් ප්‍රවණතාවක් සේ අපි දකිමු. කවුරුන් අතින් හෝ මේ වගකීම ඉටුවිය යුතුය.



අදහස් (7)

මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ව්‍යාධිය

viva Tuesday, 12 March 2019 05:41 AM

මෙය සාපරාදී විස්වාසය කඩ කොට සාවද්‍ය පරිහරනයක්ය. මෙම දණ්ඩ නීති වරදකි.

:       0       68

RaveendraTuesday, 12 March 2019 10:38 AM

viva මයා වෙත, ඇත්තෙන්ම මේ අය විනාශ කරන්නේ අප සියල්ලොගෙන්ම එකතු කරන බදු මුදල් නොවේද ??? එබැවින් " මේ අය අවසන් මොහොත කුමන අන්දමේ කටුක අද්දැකීම් ලබාවිද යන්න හිතා ගැනීමටවත් අසීරුය. මක්නිසාදයත් එසේ අවසන් මොහොතේ දුක්විදින්නේ අහිංසක මහජනතාවගේ මුදල් විනාශ කිරීමේ පලවිපාකය.

:       0       59

Sapumal.Sunday, 17 March 2019 05:27 AM

ඔබතුමා නිවැරදියි. මේ ආකාරයට මේ අයට මෙසේ සෙල්ලම් දැමීමට හැකිවී ඇත්තේ වාහන වලට නිතර නිතර පණවනු ලබන ඉවසිය නොහැකි බදු නිසාය. ගෝලීය සංකල්පය අනුව බලනා විට මෙය විශාල වරදකි. ලොව දියුණුවත් සමග ලාංකික ජනයාට ඒ දියුණුවේ ප්‍රතිලාභ ලැබීම රජයන් විසින් අහුරා ඇත.ජපානයේ තිබෙන වාහනයකට මේ රටට එනවිට මොනතරම් අසාධාරණ බදු ගසනවාද ? අපත් ජනතාවත් ගැඹුරින් නොසිතුවාට,මේ වාහන බදු මෙසේ අසාධාරණ ලෙස වැඩිකිරීම නීති විරෝධී ක්‍රියාවකි.ජනතාවගේ ලේ අමු අමුවේ උරා බීමකි.අප මෙයට නිහඬව සිටිනතාක් කල් මේ ලේ උරා බීම දිගටම පවතිනු ඇත.

:       0       23

Rasika Tuesday, 12 March 2019 09:13 AM

වාහන අඩු කර ණය බර අඩු කරනු

:       0       46

mendis Tuesday, 12 March 2019 09:59 AM

ලංකාව කිසි දිනක දියුණු වන රටක් නොවේ.

:       2       71

dias Tuesday, 12 March 2019 11:59 AM

අද ලංකාවේ දේශපාලනයේ සිටින බොහෝ දෙනා, දේශපාලනයට පැමිණෙන්නට පෙර සිටියේ පහල ජන සමාජ ස්ථර වලයි. ඔවුන් බොහෝ දෙනෙක් සාමාන්‍ය පෙළ වත් සමත් නොවූ අය වෙති. එවැනි පුද්ගලයින් මන්ත්‍රීවරුන් වූ විට බලන්නේ මොනයම් ආකාරයකින් හෝ හැකිතාක් ධනය රැස්කොට තමන්ට පෙර නොතිබූ ප්‍රතිරූපයය ගොඩ නගා ගැනීමට තැත් කිරීමයි. මෙය බොහෝ අප්‍රිකාවේ, ආසියාවේ සහ දකුණු ඇමෙරිකාවේ තිබෙන තුන්වන ලෝකයේ රටවල දක්නට ලැබෙන සංසිද්දියකි. මේ ලිපියේ සඳහන් මහජන මුදල් කාබාසිනියා කරන “රථ ගායට” මුදල් අමාත්‍යාංශය වෙනුවෙන්, මුදල් අමාත්‍යවරයා වගකිව යුතු බවයි මගේ අදහස.

:       0       21

kujitha Tuesday, 12 March 2019 11:05 PM

මේ සියල්ලට පිළිතුරු, බෙහෙත් ඔබ -අපි ළඟ තියෙනවා. ඒවා සූදානම් කරගැනීම සහ අනෙත් අය දෙනුවත් කිරීම තමා ඔබගේ වගකීම. මේ ඔක්කොම ඔතනට යවන්නේ අපි. එසේ කරනාතාක් කල් තමයි මේ අවලාද. එම නිසා විකල්ප සොයාගෙන එම පුරුද්ද නැති කරමු. අපි එකතු උනොත් බොහෝ දේ කල හැක.

:       0       47

ඔබේ අදහස් එවන්න

කොලම

ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 120 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 696 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 823 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 158 2

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 469 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 342 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site