ගම්මිරිස් කිලෝවකට ඉන්දීය රුපියල් 500ක අවම ආනයන මිලක් හඳුන්වා දීමට ඉන්දීය රජය 2017 වසරේ දෙසැම්බර් මාසයේදී පියවර ගත්තේය. “ගුණාත්මකභාවය අඩු සහ මිල අඩු” ශ්‍රී ලංකාවේ ගම්මිරිස් අපනයනය කිරීම ඉහළ නැංවීම එහි ඉලක්කය විය. එම නිසා එරට ගම්මිරිස් මිල ගණන් ද අඩු වී තිබිණි.

එම වසරේදී පමණක් දේශීය (ඉන්දියාවේ) ගම්මිරිස් මිල 35% කින් අඩු වී තිබිණි. එම නිසා ඉන්දියාවේ ගම්මිරිස් වගාකරුවන් සහ වෙළෙඳුන් අතර අතෘප්තිකර සහ අසතුටුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර අවසානයේ දී එය දේශපාලන අර්බුදයක් බවට පත්විය.

අවම ආනයන මිලක් පැන වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම “ගුණාත්මකභාවය අඩු සහ මිල අඩු” ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කළේය. මේ අවස්ථාවේදී අපනයනකරුවන් ගම්මිරිස් විශාල තොග ප්‍රමාණ අඩු කර කුඩා කොටස්වලට වෙන් කර අවස්ථා රැසකදී විවිධ වරාය ඔස්සේ ඉන්දියාවට ප්‍රවාහනය කළේය. 

අද මේ මාතෘකාව සාකච්ඡාවට ගන්නේ ගම්මිරිස් වෙළෙඳාම පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නිසා නොව “නිදහස් වෙළෙඳාම” සහ “නිදහස් වෙළෙඳ ගිවිසුම්”අතර ඇති වෙනස සාකච්ඡා කිරීමටය. “නිදහස් වෙළෙඳාම” සහ “නිදහස් වෙළෙඳ ගිවිසුම්”දෙක ඉඳුරාම එකිනෙකට වෙනස් බව සඳහන් කළ යුතුය. කෙසේ නමුත් “නිදහස් වෙළෙඳාම”වෙනුවට “නිදහස් වෙළෙඳ ගිවිසුම්” ගෙන ඒම හැර වෙන ක්‍රමවේදයක් නැත.

මේ කරුණු ඉහළ මට්ටමින් අල්ලස් හා දූෂණ සිදුවීමට මඟපාදන බව ඇසීමෙන් මම ද පුදුමයට පත්වීමි. ඒ අතරේම කුළුබඩු වෙළෙඳාම ත්‍රස්තවාදයට මුදල් සපයන බවට ද පසුගිය සතියේ දී අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබේ.

වෙළෙඳාම විකෘති වීම

ඉන්දු - ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනික බද්දක් නොමැතිව ඉන්දියාවට (කළු) ගම්මිරිස් මෙට්ට්‍රික් ටොන් 2,500ක් ඉන්දියාවට යැවීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇත. එම ප්‍රමාණය ඉක්මවන සෑම අවස්ථාවකදීම 8% ක ආනයන බද්දකට යටත් වීමට සිදු වේ. ඉන්දියාව වියට්නාමය සහ අනෙක් රටවලින් ද ගම්මිරිස් ආනයනය කරන අතර ඒ සියල්ලම 54%ක ආනයන බද්දකට යටත්ය.

“ගුණාත්මකභාවයෙන් ඉහළ” ගම්මිරිස්, කුරුඳු, කරඳමුංගු, කරාබුනැටි සහ සාදික්කා නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සුප්‍රසිද්ධය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 6,000ක (ආසන්වශයෙන් රුපියල් 1,058,280ක්) මුදලක් ගෙවනඅතර වියට්නාම ගම්මිරිස් සඳහා ගෙවන්නේ ඉන් අඩකි.

වියට්නාම ගම්මිරිස් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මඟ මිශ්‍ර කර ඉහළ මිලකට අඩු තීරුබදු යටතේ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කළ විට ඉන්දියාවට මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 2,700ක (ආසන්න වශයෙන් රුපියල් 476,000ක්) පාඩුවක් සිදු වූ බව කියැවේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් දූෂිත වෙළෙඳ පිළිවෙත්වලට ඉඩ ලබාදීමත් ප්‍රවර්ධනය කිරීමත් සිදුවිය හැකිය. වියට්නාමයට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිස ඉන් දූෂිත ව්‍යාපාර පිළිවෙත් වලින් අනවශ්‍ය ලෙස ලාභ ලැබිය හැකිය. එක අතකින් වෙළෙඳුන්ට ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මාර්ගයෙන් ඉහළ ආනයන බදුමඟ හැරිය හැකිය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ ලේබලය යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ ගම්මිරිස් යැයි කියමින් ඉහළ වෙළෙඳපොළ අගයක්/මිලක් ලබාගැනීමට අනෙක් පාර්ශවවලට අවස්ථාව උදා වේ.

ශ්‍රී ලංකාවේ කුප්‍රකට වෙළෙඳාම

නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉහත කී පිළිවෙත් සිදුවිය හැක්කේ අල්ලස් හෝ දූෂණය හෝ පවතින්නේ නම් පමණි. පළමුවෙන්ම ගම්මිරිස් රේගුව තුළින්/මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. ඉන් පසුව ඉන්දියාවට අපනයනය කිරීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමේ දක්වා ඇති පරිදි ගම්මිරිස් සඳහා “ප්‍රභව ස්ථාන සහතිකය” (නිෂ්පාදනයක, නිෂ්පාදිත රට (ස්ථානය) සහතික කරන සහතිකය) සහතිකය ලැබිය යුතුය. 

වියට්නාම ගම්මිරිස්වලට ව්‍යාජ “ප්‍රභව ස්ථාන සහතිකය”සහතිකයක් ලබාදීම සඳහා මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 1000ක් (ආසන්න වශයෙන් රුපියල් 176,380 ක්) අය කිරීමේ වංචාවක් පිළිබඳ පුවතක් 2018 ජනවාරි 8 වැනිදා ඉන්දියාවේ ‘ද හින්දු’පුවත්පතේ ව්‍යාපාර තීරුවේ පළවිය. එවැනි ව්‍යාජ සහතිකවලින් සිදු වනුයේ ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ වියට්නාම ගම්මිරිස් ඉන්දියාවට යැවීමට සුදුසු බව සනාථ වීමය.

ශ්‍රී ලංකාව ‘ගුණාත්මකභාවය අඩු සහ මිල අඩු” ගම්මිරිස් අපනයනය කරන බවට අපකීර්තිමත් ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ එසේය. එමෙන්ම රජයේම පිරිස් විසින් කරන දුරාචාර සහ අවකල් ක්‍රියා පාලනය කළ හැකි නිලධාරීන් පත් කිරීමට රජය සමත්විය විය යුතුය. එය රැකියා නිර්මාණය කරන සහ රැකියා වැඩි කරන්නක් බවට පත්ව තිබේ.

එම නිසා මේවා පාලනය හැකි පිරිස් තනතුරුවලට පත් කළ යුතුය. ආර්ථික විද්‍යාඥයකු වන ජග්දිෂ් බග්වාතිට අනුව නිදහස් වෙළෙඳ ගිවිසුම් වලින් එකිනෙක පැටලී තිබෙන ලෝකය පැටළුණූ නූල් බෝලයකට සමානය. එයින් සිදුවිය හැකි සංකූලතා මිල අධික විය හැකිය. එමෙන්ම මේ තත්ත්වය නිසා වෙළෙඳාම හා සම්බන්ධ දූෂණ සහ වංචාවලට එරෙහිව සටන් කිරීමට සිදුවීමෙන් තත්ත්වය තවත් උග්‍ර අතට හැරේ. මේ සියලු කරුණු කාරණා නිසා රජයට නව රැකියා නිර්මාණය කිරීමටත් තිබෙන රැකියා දෙගුණ තෙගුණ කිරීමටත් සිදුවී තිබෙන අතර ඒවාට ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ජාතියටම ය.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ආශ්චර්ය අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව 2016 වසර දක්වා ශ්‍රී ලංකාව ඉන්දියාවට කරන ලද ගම්මිරිස් අපනයනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 5,000ක් විය. වසර 2017 දී සහ 2018 දී එය දෙගුණ වෙමින් මෙට්‍රික් ටොන් 10,000 ඉක්මවීය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ වූ අතර ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වලින් 80% ක් අපනයනය කරන ලද්දේ ඉන්දියාවටය.

එහෙත් 2017 වසර දක්වා ඉන්දියාවට ගම්මිරිස් සපයන ප්‍රධාන මූලාශ්‍රය වූයේ ශ්‍රී ලංකාව නොවේ. වියට්නාමය ද ඉන්දියාවට ගම්මිරිස් සැපයූවේය. ඉන්දියාව 2016 වසරේදී සිය ගම්මිරිස් අවශ්‍යතාවෙන් 40% ක් ආනයනය කරන ලද්දේ වියට්නාමයෙන් වන අතර ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද්දේ 20% ක් පමණි.

කෙසේ නමුත් 2017 වසරේදී ශ්‍රී ලංකාව වියට්නාමයේ අපනයන ප්‍රමාණය ඉක්මවා ගියේය. එහෙත් ශ්‍රී ලංකාව ගම්මිරිස් නිෂ්පාදනය දෙගුණ කරමින් විශ්වකර්ම ක්‍රියාවක් කළේ යැයි නොසිතන්න. සැබැවින්ම වූයේ වියට්මානයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමයි. වසර 2000 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව“නිදහස් වෙළෙඳ ගිවිසුම” ක්‍රියාවට නැංවීමෙන් පසුව “නිදහස් වෙළෙඳාම” යටතේ දෙරට අතර හුවමාරු ඇතැම් නිෂ්පාදන සංඛ්‍යාත්මක ඉහළ අගයක් ගත්තේය.

දෙපාර්ශ්වයෙන්ම එය දක්නට ලැබුණු අතර දැනටත් එය දක්නට තිබේ. මුල් දිනවලදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ලද නිෂ්පාදනය වූයේ “තඹ” ය. ශ්‍රී ලංකාව සතුව “තඹ ආකර” ඇතැයි මම නොසිතමි. දන්නා තරමින් එසේ නැත. එහෙත් එම කාලයේදී ඉන්දියාවට අපනයනය කරන නිෂ්පාදන අතරින් වේගවයෙන්ම වර්ධනය වූයේ තඹය. ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ මුලින් තඹ ද පසුව කිරි ගරුඬ, ග්‍රැනයිට්, විදුලි බුබුළු (ෆ්ලෝරසන්ට් බල්බ්) සහ තුනී ලෑලී අපනයනය කළ බව ද අපට අසන්නට ලැබිණි. ඒ අතර සුළු අපනයන භෝග ද විය.

මිල අඩු කරාබු නැටි සහ ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද කරඳමුංගු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමඟ මිශ්‍ර කිරීම සහ ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීම ද සිදුවිය. ඉන්පසුව “වනස්පති” - පාම් තෙල් ශ්‍රී ලංකාව තුළ මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නට යෙදුණි. පාම් තෙල් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ බවට ඉතිහාසයක් නැති නමුත් විශාල වශයෙන් මෙරට තුළ නිෂ්පාදනය කෙරුණි. ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද පුවක් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යැවීම ද එසේ කරන ලද කූට අපනයන ජාවාරමකි. ඉන්දුනීසියාවෙන් සෘජුවම ඉන්දියාවට පුවක් අපනයනය කරන්නේ නම් ඉන්දීය වරායවලදී එම පුවක් සියයට සියයක අපනයන බද්දකට යටත් විය යුතුය.

අප ව්‍යාකූල කරන ප්‍රශ්නය අවසාන වශයෙන් අප ව්‍යාකූල කරන එහෙත් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයක් අප හමුවේ පවතී. මේ සියල්ල කරන්නට නම් අප ආනයන සීමා පැනවිය යුතු ද ? ඇතැම් අයකු එය විවෘත ආර්ථිකයට එරෙහි කරුණක් ලෙස ගෙන ඒ සම්බන්ධයෙන් වාද විවාදවලට එළැඹිය හැකිය. ඇතැම් අය ආරක්ෂණවාදී රෙජීමය සාධාරණීය කරන්නට කරුණු දක්වනු ඇත. මේ සියල්ල ඉහළ මට්ටමින් සිදුවන වංචාව සහ දූෂණය නිසා ඇති වූ ව්‍යාජ, බොරු සහ රැවටිලිකාර ව්‍යාපාරික පිළිවෙත් නිසාය. විවෘත ආර්ථිකයටත් වඩා නියාමන රෙජීම නිසා වංචාව සහ දූෂණයටත්, ව්‍යාජ, බොරු සහ රැවටිලිකාර ව්‍යාපාරික පිළිවෙත්වලට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබේ.

දෙවැනුව නීති බලාධිකාරියේ තිබෙන අඩුපාඩු සහ හිඩැස් ව්‍යාජ, බොරු සහ රැවටිලිකාර ව්‍යාපාරික පිළිවෙත් සඳහා ඉඩ ලබා දී තිබේ. උදාහරණයක් ලෙස යුරෝපා සංගමයේ රටවල් අතර නිදහස් වෙළෙඳාම සිදු වේ. එහෙත් කෙනකුට ව්‍යාජ, බොරු සහ රැවටිලිකාර ව්‍යාපාරික පිළිවෙත්වල යෙදිය හැකි බව කියැවෙන්නේ නැත. එම රටවල සහ යුරෝපා සංගමය තුළ නෛතික බලාත්මක කිරීම් සිදු කිරීම හරියාකාරයෙන් සිදු වේ. අනෙක් අතට එම රටවල තාක්ෂණික සහ ගුණාත්මක තත්ත්ව තිබෙන අතර වෙළෙඳාම් කිරීමේ දී එම තත්ත්වලට යටත් විය යුතුය.

භාණ්ඩ සහ සේවා වෙළෙඳාමට පිවිසිය යුතු නම් අවශ්‍ය කරන තාක්ෂණික සහ ගුණාත්මක තත්ත්වවලට අනුකූල විය යුතුය. එසේ නොවන්නේ නම් වෙළෙඳාම සිදු නොවේ. සමස්ත ප්‍රතිපත්ති පරිසරය අවසාන වශයෙන් මතුපිටට නොපෙනෙන ආර්ථික සාධකය වන්නේ ක්ෂුද්‍ර කරුණු සහ සමස්ත වෙළෙඳ පරිසරය අතර තිබෙන වෙනසයි.

ආණ්ඩුව අවස්ථා කිහිපයකදී කළ අයුරින් භාණ්ඩ කිහිපයක් මත ආනයනය සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළත් අවසානයේදී වඩාත් වැදගත් වන්නේ සමස්ත වෙළෙඳ ප්‍රතිපත්තියයි. එමගින් වෙළෙඳාම පුළුල් කිරීමට සහාය වන විවෘත ආර්ථිකයක් නිර්මාණය කරන්නේ ද නැතහොත් එය වළක්වන පරිසරය ආරක්ෂා කරන්නේ ද ?

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වූ අතර කුළුබඩු අපනයන ප්‍රතිශතය එයින් 3 % ක් පමණක් විය. ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ප්‍රගතිය රැඳී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ තිබෙන සුළු ආනයන භෝග කිහිපයක් මත නොවන වෙළෙඳාම පුළුල් කිරීම මතය. සුළු අපනයන භෝග කිහිපයකින් පුද්ගලයන් කිහිපදෙනකුට වාසි අත්පත් කර දෙමින් ඔවුන්ට වැදගත් වුවත් සමස්ත ජාතියටම එය වැදගත් නොවේ.

සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය රැඳී ඇත්තේ නිෂ්පාදන සහ සේවා වෙළෙඳාම ඔස්සේ ගෝලීය ආර්ථිකය සමඟ සම්බන්ධ වීම මතය. කෙසේ නමුත් විවිධ හේතු නිසා රටවල් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹේ. ඇතැම් අවස්ථාවලදී එම හේතු ආර්ථිකමය නොවන අවස්ථා ද තිබේ. ලෝක වෙළෙඳ සංවිධානයට අනුව 2019 වසරේ ජනවාරි මාසය වනවිට සක්‍රීය එනමුත් අවුල් සහගත වෙළෙඳ ගිවිසුම් සංඛ්‍යාව 291කි. කෙසේ නමුත් අවසානයේදී වඩාත් වැදගත් වන්නේ වෙළෙඳ ගිවිසුම් නොව ජාතීන්ගේ ආර්ථීක සාර්ථකත්වයට දායකත්වය දක්වන සමස්ත වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයි.

 

මහාචාර්ය සිරිමල් අබේරත්න විසිනි 

සන්ඬේ ටයිම්ස්ප් පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ

- හර්ෂණ තුෂාර සිල්වා