ජාතික රජයේ ‘2025 -  පොහොසත් රටක්’ දැක්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති අභිමානවත් උත්සවයකදී එළිදැක්විණි.

‘2025 - පොහොසත් රටක්’ දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය.

2025 වසර වනවිට රට ගොඩනගන ජාතික රජයේ සැලසුම කොටස් වශයෙන් මෙසේ පළ කෙරෙයි.

2015 වර්ෂයේ ජනවාරි සහ අගෝස්තු යන මාසවලදී ශ්‍රී ලාංකික ජනතාව සිය ඡුන්ද අයිතිය දෙවතාවක්ම තීරණාත්මක ලෙස භාවිතා කරනු ලැබුවේ අප ජාතියේ ඉදිරි ගමන පිළිබඳව ඉතිහාසගත සන්ධිස්ථානයන් සනිටුහන් කරමිනි. ජාතීන් හා ආගම් අතර බෙදීම් ඇති කරවන දේශපාලනයට හා සෑම පාර්ශ්වයකම අන්තවාදයට එරෙහිව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට, නීතියේ ආධිපත්‍යයට, යහපාලනයට, සංහිඳියාවකට සහ තිරසාර සාමයකට, සමානාත්මතාවට සියලූ දෙනාගේම මානව අයිතිවාසිකම් හා අප සමාජයේ බහුවාර්ගික ස්වභාවය පිළිගැනීම, ප‍්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂා කිරීම උදෙසා හා සියලූ ජනතාවට ප‍්‍රතිලාභ අත්වන සහ සමානාත්මතාව පදනම් වූ සංවර්ධනයක් සඳහා ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ නව වෙනසක් උදෙසා උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ජනතාව ඡන්දය භාවිතා කළහ. මේවා ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන, සංහිඳියාව, තිරසාර සාමය හා සංවර්ධනය සඳහා ප‍්‍රතිඥා දුන් මහජන නියෝජිතයන් පත් කිරීමට ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් වන අතර ඒවා ඔවුන් විසින් ඉටු කළ යුතු වන්නේය.

අපි සමහර පොරොන්දු දැනටමත් ඉටුකර ඇත්තෙමු. අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය යළි ස්ථාපිත කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත, අදහස් ප‍්‍රකාශනයේ නිදහස යළි ස්ථාපනය කිරීම, යෝජිත සංහිඳියා යාන්ත‍්‍රණයට මහජන අදහස් ලබා ගැනීම, ව්‍යස්ථාදායක සභාවක් ඇති කිරීම, අපගේ ජාතිය දුෂණයෙන් නිදහස් කිරීම සඳහා වූ ක‍්‍රමවේදයන් සකස් කිරීම සහ යහපාලන සංස්කෘතිය මත පදනම් වූ ප‍්‍රවේශයක් තුළින් ඉදිරියට ගමන් කිරීම ප‍්‍රධාන වේ. ජනතාවගේ ණය බර අඩු කිරීම තුළින් ජීවන බර හෑල්ලූ කිරීම සඳහා ඔවුන් ආර්ථික වශයෙන් නඟාසිටුවීම සඳහා වැදගත් පියවර ගණනාවක් අප විසින් ගත්තෙමු. ඉතිහාසයේ කවරදාවත් නොසිදුවුණු අයුරින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් සහ සමෘද්ධි ගෙවීම් වැඩි කිරීම, විශ‍්‍රාම වැටුප් වැඩි කිරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩුකිරීම. ඉහත අරමුණු සපුරා ගැනීම සඳහා සැලසුම් කර ඇති පියවරවලින් කිහිපයක් පමණි. ඒ අනුව රැකියා දසලක්‍ෂයක් ඇති කිරීමේ වෑයමේදී මේ වනවිට රැකියා අවස්ථා 430,000කට අධික ප‍්‍රමාණයක් බිහිකිරීමට හැකිව තිබේ.

අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රතිලාභ අත්කරගෙන නොමැති වුව ද එම කාර්යයන් උද්‍යෝගයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යමු. අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යවල මෙන්ම මෙම කරුණු සම්බන්ධව ප‍්‍රගතියක් අත්කරගැනීම ඍජු සහ සරල ක‍්‍රියාවලියක් නොවන්නේ ශ්‍රී ලංකාව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ගෝලීය ප‍්‍රවණතාවයන්, ස්වභාවික උවදුරු ආශ‍්‍රිත අභියෝගවලට ලක්වන නිසා වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවන පසුබෑම්වලට ද ලක්වන හෙයිනි. නූතන තාක්‍ෂණය භාවිතා කරමින් දියුණු ආරක්‍ෂක උපක‍්‍රම සහිත නවීන ආරක්‍ෂක සැලසුම් හරහා ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් හැටියට ගොඩනැගීමට වගබලා ගන්නෙමු.

කෙසේ වුව ද අප ජාතියේ හැත්තෑවෙනි නිදහස් සංවත්සරයේ අභිමුඛයට ළඟා වී සිටින මොහොතේ අපගෙන් වසර ගණනාවක් ගිලිහී ගිය සිහිනයන් වන ස්ථාවර, සාමකාමී, සංහිඳිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සමස්ත ජනතාව උදෙසා බිහිකිරීම සඳහා වන අප අභිලාෂය සැබෑවක් කරගැනීම සඳහා අප නිරන්තර සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නෙමු.

01. රජයේ ආර්ථික දැක්ම

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට පොහොසත් රටක් බවට පත් කිරීම අපගේ දැක්ම වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්නෙමු. තව ද අප දේශයේ සියලූ පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට හැකි පරිසරයක් අපි නිර්මාණය කරන්නෙමු. මෙම දැක්ම ළඟා කර ගැනීමට අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම් දැනටමත් සිදුකරමින් පවතී. සියලූ පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීම, රැකියා සුරක්‍ෂිතභාවය හා සැමට නිවාස සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ප‍්‍රමුඛතා ලෙස හඳුනා ගැනීම හරහා මෙම වෙනස්කම් සඳහා බලගතු ශ්‍රී ලංකාවක් තුළින් පදනම සකස් කර ඇත.

අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණක් වන පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළඳපොළක් ශ්‍රී ලංකාව සතුව ඇති අතර, තිරසාර, ඉහළ සහ දිගුකාලීන වර්ධනයක් සඳහා වන විදේශීය අංශයේ ඉල්ලූම මත රඳාපැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාල තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්‍ෂිත කිරීම උදෙසා අපි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපායමාර්ගිකව පත් කරන්නෙමු. මෙම පුළුල් දැක්මක් සහිත ප‍්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නංවනු ලබන අතර, සියලූ ශ්‍රී ලාංකිකයන්ට සුබසෙත සලසනු ඇත.

02.      වර්ධනය සඳහා පවතින සීමා

අපගේ ආර්ථිකයේ ඵලදායීතාව, කාර්යක්‍ෂමතාව සහ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය නොමැති වීම ආදී සාධක වෙළෙඳපොළ සංරෝධක, දුර්වල දේපළ අයිතිය, ප‍්‍රමාණවත් නොවන යටිතල පහසුකම්, මූල්‍ය පහසුකම්වලට ප‍්‍රවේශවීමේ අසමානතා වැනි ව්‍යුහාත්මත කරුණු මෙන්ම ආයතනික දුර්වලතා සහ මිල ගණන්වල විෂමතාව පැවතීම වැනි සාර්ව ආර්ථික ගැටලූවලට අපි මුහුණ දී සිටින්නෙමු.

- ආර්ථික වර්ධනය මඟින් සැලකිය යුතු ව්‍යුහාත්මක දුර්වලතා පෙන්නුම් කර ඇත.

අපගේ වර්ධනය, මූලික වශයෙන් විශාල වාණිජ්‍ය ණය ගැනීම් මත පදනම් වූ රජය විසින් සිදු කරනු ලබන යටිතල පහසුකම් සඳහා වන වෙළෙඳ නොවන කටයුතු මඟින් සිදු වී ඇත. අඛණ්ඩව පවතින රාජ්‍ය මූල්‍ය හිඟය සහ විදේශීය වර්තන ගිණුමේ හිඟය, ආයෝජකයන්ගේ විශ්වාසය හීන කිරීමට සහ ඍජු විදේශ ආයෝජන හා පෞද්ගලික දේශීය ආයෝජන අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන බොහොමයක් දේපළ වෙළෙඳාම හා ඒ සම්බන්ධ අංශ මෙන්ම තරගකාරීත්වයෙන් තොර ආනයන ආදේශක සඳහා යොදා ගෙන ඇත.

- අපනයන ක‍්‍රියාකාරීත්වය අඩු වී තිබේ. නිරතුරුව පවතින තරගකාරී නොවන විනිමය අනුපාතික සහ ඉහළ සඵල ආරක්‍ෂක අනුපාතිකවල ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථිකය තුළ අපනයන දුර්වලවීමේ නැඹුරුවක් පවතී. ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යුහය තවමත් අපනයන නිෂ්පාදිත කිහිපයක් මත රඳා පවතී. ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බොහෝ සෙයින් රඳා පවතිනුයේ වාණිජමය ණය ගැනීම්, දේපළ වෙළෙඳාම් සංවර්ධනයට සම්බන්ධ විදේශීය ඍජු අයෝජන ගලා ඒම් සහ නුපුහුණු විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන පේ‍්‍රෂණ මඟිනි. දැනුම පදනම් කරගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පවතින ආයෝජන ප‍්‍රතිපත්ති අසමත් වී ඇත.

- රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාකාරීත්වයෙන් දුර්වලතා වර්ධනය සඳහා බාධාවක් වී ඇත. ප‍්‍රධාන වශයෙන්ම ඉහළ පිරිවැයක් සහ ඉහළ අවදානමක් සහිත සහනදායී නොවන විදේශීය ණය ගැනීම් හේතුවෙන් දිගින් දිගටම රාජ්‍ය ණය ඉහළ යෑමත්, රාජ්‍ය ආදායම පහළ යෑමත් එකවිට සිදු වී ඇත. රාජ්‍ය ණය ඉහළ මට්ටමක පැවතීම තුළින් අවිනිශ්චිතතාවය ඉහළ යෑම, සීමාව ඉක්මවා බදු පැනවීම, ඍජු බදුවලට වඩා වක‍්‍ර බදු අධික වීම, සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනයට යොදාගත යුතු සම්පත් වෙනත් අංශ වෙත යෙදවීම, රාජ්‍ය ණය ගැනීම් අධිකවීම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ණය ලබාදීමේ හැකියාව අඩුවීමෙන් ආයෝජන අඩුවීම සහ කම්පන සඳහා ඔරොත්තු දීමේ හැකියාව දුර්වලවීම හරහා වර්ධනයට බාධා මතුවී තිබේ. දුර්වල මූල්‍ය තත්ත්වය සහ රජය සතු ව්‍යවසායයන් මඟින් සපයනු ලබන සේවාවන් ගුණාත්මකභාවයෙන් අඩුවීම ද ඵලදායීතාව සහ වර්ධනය සඳහා පවතින අමතර බාධාවන් වේ.

- නියාමන බාධක මඟින් වර්ධනය අඩාල වී ඇත. මෙම බාධාවන් මඟින් විදේශීය සහ දේශීය පෞද්ගලික ආයෝජන සීමාකර ඇත. ඉතා උග‍්‍ර බාධාවන් වී ඇත්තේ වාණිජ සහ වෙනත් ඵලදායී ක‍්‍රියාවලි සඳහා පවතින ඉඩම් හිඟය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක අවශ්‍යතා සපුරාලිය හැකි පුහුණුවක් සහිත ශ‍්‍රමබළකායක් නොසිටීම යල්පැනගිය කම්කරු නීති සහ ශ‍්‍රම වෙළෙඳපොළ තුළ ඇති අකාර්යක්‍ෂමතාව හේතුවෙන් ශ‍්‍රමබළකාය සඳහා කාන්තා සහභාගීත්වය අඩුවීම විදේශ වෙළෙඳාමට සහාය දීම වළක්වන දැඩි බදු නීති බලශක්තිය, ප‍්‍රවාහන සහ විදුලි සංදේශ වැනි යටිතල පහසුකම් සඳහා වන ප‍්‍රවේශය, ගුණාත්මක බව හා මිල නියම කිරීම ප‍්‍රමාණවත් නොවීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා මූල්‍ය සම්පත් හිඟවීම වඩාත් උග‍්‍ර වූ බාධාවන්ගෙන් සමහරක් වේ.

03.      තුන් අවුරුදු ආර්ථික වැඩසටහන

2025 දැක්ම තුළ, මීළඟ තෙවසර තුළ සංවර්ධනය සඳහා ඇති ගැටලූ විසඳීමට පුළුල් ආර්ථික ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරනු ඇත. ඒක පුද්ගල ආදායම වසරකට එ.ජ. ඩොලර් 5,000ක මට්ටමක් තෙක් ඉහළ නැංවීම, රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය, වසරකට විදේශීය ඍජු ආයෝජන එ.ජ. ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීම සහ වසරකට අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියන 20ක් දක්වා දෙගුණ කිරීම අප ඉලක්ක කර ඇත. මෙම අතරමැදි ඉලක්ක මඟින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමේ අපගේ 2025 දැක්මට අවශ්‍ය පදනම සකස් කරයි.

04. වර්ධනයේ නව ප‍්‍රවේශය

වර්ධනය සඳහා අපගේ නව ප‍්‍රවේශය, දැනුම් පදනම් කරගත්, ඉහළ තරගකාරීත්වයක් සහිත, සමාජීය වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් මත සකස්වනු ඇත. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තුළින් බුද්ධිමය හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට ඉඩ ලබා දෙයි. නූතන ඒකාබද්ධ වූ ගෝලීය ආර්ථිකය තුළ සාර්ථකත්වයට පත්වීම සඳහා අත්‍යවශ්‍ය වන ඉහළ තරගකාරීත්වයකින් යුතු පරිසරයක් සැකසීමට එමඟින් හැකි වනු ඇත.

සමාජීය වෙළෙඳපොළ ආර්ථික මූලධර්මයන්, සාර්ථක ආයතන හා ප‍්‍රතිපත්තීන් සහ ශක්තිමත් වෙළෙඳපොළ ව්‍යුහයන් වඩා සාධාරණ සමාජයක් උදෙසා දායකවනු ඇත. ඉහළ ඵලදායීතාවකින් කටයුතු කිරීම, නවෝත්පාදන ඇති කිරීම, ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම මෙන්ම ආයෝජනය කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම යන අංශයන් ඔස්සේ පෞද්ගලික අංශ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ගෝලීය පරිසරය තුළ අපගේ ආර්ථිකයෙහි තරගකාරීත්වය සහ සාර්ථකත්වය ඉහළ නැංවීම සඳහා අප පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරනු ඇත. වෙළෙඳපොළ මූලධර්ම, ආර්ථික තරගකාරීත්වය සහ සමාජීය ප‍්‍රතිලාභ පිළිබඳව සිහියෙහි තබාගනිමින් අප විසින්, වත්මන් සහ අනාගත පරම්පරාවන්හි ප‍්‍රතිලාභ උදෙසා සමෘද්ධිමත්භාවය තහවුරු කිරීමට යෝග්‍ය ආර්ථික සහ සමාජීය ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාවට නංවනු ඇත. විවිධත්වයකින් සහ ඉහළ වටිනාකමකින් යුත් වෙළෙඳ අංශයේ වර්ධන ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා දේශීය පෞද්ගලික ආයෝජන සමඟ තාක්‍ෂණික හා කළමනාකරණ දැනුම සහිත නිවැරදි ආකාරයේ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරගත යුතු වේ.

රජය විසින් ආර්ථික වර්ධනය මෙහෙයවනු ලබන සාධක ශක්තිමත් කරනු ඇති අතර, වඩාත් සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ගොඩනගනු ඇත. ආර්ථිකයේ ඵලදායීතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන සාර්ව ආර්ථික, සාධක වෙළෙඳපොළ, ආයතනික හා නියාමන ප‍්‍රතිසංස්කරණ රජය විසින් ඉටු කරනු ලබයි. මෙම ප‍්‍රතිසංස්කරණ මඟින් භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය කිරීම උදෙසා විශේෂයෙන්ම දැනුම වැඩිදියුණු කිරීම සහ තාක්‍ෂණය පදනම් කරගත් විදේශීය ඍජු ආයෝජන ලෙස වන පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ.

සාර්ව සහභාගීත්ව සමාජයක් උදෙසා ශක්තිමත් සහ බලවත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම සඳහා රජය විසින් විශාල පරිශ‍්‍රමයක් ගනු ඇත. සමාජ ආර්ථික හිණිපෙත්ත කරා ගමන් කිරීම තුළින් ජනතාවට ඉහළ ආදායම් සහ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සියලූම ජනතාවට වඩා සාධාරණ ලෙස පොදු සේවාවන්, රැුකියා අවස්ථාවන් සහ ජීවන තත්ත්වයන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කරන්නෙමු.

වඩාත් හිතකර නීති ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නෙමු. විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, ස්වේච්ඡාවෙන් ආදායම හෙළිදරව් කිරීමේ පනත, රාජ්‍ය බැංකු පනත, ප‍්‍රපාතනය වැළැක්වීමේ පනත, රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත, වරාය හා ගුවන් තොටුපොළ පනත, රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත, ඉඩම් (විශේෂ විධිවිධාන) පනත, තිරසාර සංවර්ධන පනත, වගකීම් කළමනාකරණ පනත සහ ජාතික ණය කාර්යාල පනත මඟින් ව්‍යාපාර සඳහා වන හිතකර පරිසරය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.

05.      සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම.

ජාතික සාර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ රජයේ උපායමාර්ගය තුළ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාව, මිල ස්ථායීතාව තහවුරු කිරීම හා වෙළෙඳපොළ පදනම් වූ තරගකාරී විනිමය අනුපාතයක් පවත්වා ගැනීම යන ප‍්‍රධාන අංග තුන ඇතුළත් වේ.

රාජ්‍ය මූල්‍ය වගකීම් විරහිතභාවය, අයවැය හිඟය සහ රාජ්‍ය ණය වර්ධනය කෙරෙහි බාධාකාරී වේ. අනෙකුත් මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සහ සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම 2015 වන තෙක් අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කළේය. අයවැය හිඟය මූල්‍යනය කිරීම සඳහා රජය ණය මත පදනම්වීමත් සමඟ ශ්‍රේණිගත කිරීම්වලදී සලකා බැලෙන සෙසු සමාන රටවල් අතර ශ්‍රී ලංකාව වෙනස්ම රටක් බවට පත් කරමින් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 79.3ක් දක්වා ඉහළ ගොස් ඇත. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් මහා භාණ්ඩාගාරයට විශාල බරක් බවට පත්ව ඇති අතර, එය සමස්ත ආර්ථිකය පුරා මිල ගණන් විකෘති කිරීමකට ද හේතු වේ. 2018 වසරේ සිට විදේශ ණය පියවීම සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතා ක‍්‍රියාමාර්ග අවශ්‍ය කෙරෙන අතර, එය ණය තිරසාරත්වය හා වර්ධනයට හේතු වනු ඇත.

මැදිකාලීනව රාජ්‍ය ණය අඩුකර ගැනීම සඳහා ආදායම් පදනම් රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවක් අපි අනුගමනය කරන්නෙමු. බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16ක් දක්වා තහවුරු කිරීම සඳහා බදු පදනම පුළුල් කෙරෙනු ඇත. බදු සහන, බදු නිදහස් කිරීම් සහ විශේෂ අනුපාත පැනවීම් කිරීම තුළින් බදු පද්ධතිය සාධාරණ හා සඵලදායී බදු පරිපාලනයක් කරා වැඩිදියුණු කරනු ඇත. බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා පරිපාලන ශක්‍යතාව ශක්තිමත් කරනු ඇති අතර, මූල්‍ය සැලසුම්කරණය හා විනය හා විධාන පාලන වැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා අපි සහාය ලබා දෙන්නෙමු. ආදායම වැඩි වනවිට බදු ඉහළ යන පරිදි සාධාරණ බදු ක‍්‍රමයක් තහවුරු කිරීම සඳහා දැනට 20:80 ලෙස පවත්නා ඍජු බදු හා වක‍්‍ර බදු අතර අනුපාතය මැදිකාලීනව 40-60 දක්වා ගෙන ඒමට කටයුතු කරනු ඇත. රාජ්‍ය ආදායම් වැඩිකිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස බදු නොවන ආදායම් වැඩි වශයෙන් උත්පාදනය සඳහා කටයුතු කරනු ඇත.

රාජ්‍ය වියදම් ක‍්‍රමවත් කරන්නෙමු. අයවැය හිඟය සහ සමස්ත ණය මට්ටම් සඳහා අනිවාර්යය ඉලක්ක සහිතව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇත. අපගේ මැදිකාලීන ප‍්‍රමුඛතාවන් වන්නේ ඵලදායී නොවන වියදම් අවම කරන අතර රාජ්‍ය වියදම් ක‍්‍රමවත් කිරීමයි. වගවීමක් සහිත වාණිජ වශයෙන් ශක්තිමත් ව්‍යවසායයන් ලෙස ක‍්‍රියාත්මක වීමට හැකි පරිදි, රාජ්‍ය ව්‍යවසායයන් ප‍්‍රතිව්‍යුහගත කරනු ඇත. රාජ්‍ය ව්‍යවසායයන් මඟින් සපයන භාණ්ඩ හා සේවා මිල කිරීම් වෙළෙඳපොළ සමතුලිතය මත පදනම් වන අතර,  ඕනෑම ආකාරයේ සහනාධාරයක් ඉලක්කගත ජනතාව සඳහා විනිවිදභාවයකින් යුතුව ඍජුව සපයනු ඇත. තෝරාගත් ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසාය අදාළ සාමූහික අභිප‍්‍රාය පිළිබඳ ප‍්‍රකාශනය තුළින් මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය රාමුව සපයයි.

වර්ධන වැඩපිළිවෙළකට සහායවීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවක් අඛණ්ඩව පවත්වා ගනු ඇත. සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මැදිකාලයේ සිට දිගුකාලය දක්වා වූ ඉලක්ක ළඟාකර ගැනීමට සහ වැඩිදියුණු වූ ආයෝජන පරිසරයක් පවත්වා ගැනීම යනාදිය ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිසංස්කරණය සිදුකරනු ඇත. කෙසේ වෙතත්, 2018 සිට විදේශ ණය ආපසු ගෙවීමේ ඒකරාශීකරණය හේතුවෙන් දැඩි රාජ්‍ය මූල්‍ය පාලනයක් තිබීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය අවකාශය සීමිතවීම හේතුවෙන්, රාජ්‍ය වියදම් හරහා තවදුරටත් ආර්ථික වර්ධනයක් ඇති නොවන අතර, ඒ වෙනුවට වර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන මත පදනම් වාණිජමය ක‍්‍රියාකාරකම් ප‍්‍රසාරණය වීම අවශ්‍ය වේ.

දේශීය සහ විදේශීය ණය සඳහා වගකීම් කළමනාකරණ උපායමාර්ග අපි ආරම්භ කරන්නෙමු. 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 70 දක්වා ක‍්‍රමානුකූලව අඩු කිරීමට අපි අපේක්‍ෂා කරමු. මැදිකාලීන ණය කළමනාකරණ ක‍්‍රමෝපාය යටතේ දේශීය සහ විදේශීය ණය සඳහා ඉදිරි දැක්මකින් යුතු වගකීම් කළමනාකරණ උපායමාර්ග තුළින් ඉහළ රාජ්‍ය ණය තොගය පාලනය කිරීම සඳහා කටයුතු කරනු ඇත. ඒ අනුව දේශීය හා විදේශීය ණය උපකරණ සහ පරිණත කාලයන්වල සුදුසු සංයෝගයක් භාවිත කරමින් රජයේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට අවධානය යොමු කරනු ඇත.

පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය සඳහා ප‍්‍රාග්ධන වියදම් ප‍්‍රමුඛතා අනුව වැය කරන්නෙමු. වසර 15ක් තුළ ප‍්‍රථම වතාවට, රජය විසින් 2017-2020 සඳහා වූ විස්තරාත්මක පුළුල් රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කර ඇත. එම ප‍්‍රකාශනයෙහි ලැයිස්තුගත කර ඇති දැනට පවතින, වාර්ෂික පරිණත සහ අනාගත ව්‍යාපෘති 1,000 අතුරින් සීමිත සංඛ්‍යාවක් මෙහි ඇතුළත් කර ඇත. මෙම කාලපරිච්ජේදය තුළ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5-6 අතර පවත්වා ගැනීමට අපේක්‍ෂා කරයි. පසුගිය කාලයේ මෙන් ගොඩනැගිලි පමණක් ඉදිකිරීමෙන් තොරව ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය තුළ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘති, සෞඛසේවා, පර්යේෂණ හා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සඳහා මෙම අරමුදල් භාවිතා කරනු ඇත.

ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟයක් පැවති යුගයක් තුළ ක‍්‍රියාවට නංවන ලද මුදල් හා විදේශ විනිමය ප‍්‍රතිපත්ති මෙහෙයුම් හේතුවෙන් දිගුකාලීන වර්ධනය අඩපණ වී ඇත. රාජ්‍ය මූල්‍ය හිඟය පියවීම සඳහා විශාල වශයෙන් ණය ලබා ගැනීම හේතුවෙන් උද්ධමනය ඉහළ යෑම පාලනයෙන් තොර විය. ඉහළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය පරිදි ප‍්‍රතිපත්ති වෙනස්කම් සිදු කිරීම දුෂ්කර විය. අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක ගැළපීම් සිදු නොකොට කෙටිකාලීනව ආර්ථික වර්ධනය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් අනුගමනය කළ ලිහිල් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ විනිමය අනුපාත ප‍්‍රතිපත්ති හේතුවෙන් තියුණු ණය චක‍්‍ර සහ නිරන්තරව ගෙවුම් ශේෂ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. ප‍්‍රමාදවී ගනු ලැබූ නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ගය හේතුවෙන් අහිතකර ආර්ථික උච්ඡාවචන ඇති වූ අතර ආයෝජන විශ්වාසය දුර්වල විය.

මිල ස්ථායිතාව සහතික කිරීම සඳහා අපි පියවර ගන්නෙමු. අපගේ උපායමාර්ගය වන්නේ ආහාර මිල විචලතාව පාලනය කිරීම සහ අදියර දෙකක් යටතේ ජනතාවගේ දුෂ්කරතා සඳහා පිළියම් යෙදීමයි. කෙටිකාලීන මිල විචලනයන් අවම කිරීම සඳහා, දේශීය සැපයුම් ඉහළ නැංවීමට සහ බෙදාහැරීමේ ජාල ශක්තිමත් කිරීමට දිරිගන්වනු ලබන අතර, තරගකාරී වෙළඳපොළ රාමුවක් තුළ සාධාරණ පිරිවැයක් යටතේ ආහාර නිෂ්පාදන හා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩ ලබා දෙනු ඇත.

මැදිකාලයේ සිට දිගුකාලය දක්වා මිල ස්ථායිතාව ළඟාකර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙත ගමන් කරනු ඇත. ආර්ථික ක‍්‍රියාකාරීත්වයට සහ තරගකාරීත්වයට සහාය වන අතර අඛණ්ඩව අඩු උද්ධමන මට්ටමක් පවත්වා ගැනීම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු 2017 වසර අවසානයේදී උද්ධමන ඉලක්කකරණ ගමන් මඟ පිළිබඳව පුළුල්ව ඉදිරිපත් කරනු ඇත. මිල ස්ථායිතාව, එනම් අඩු, ස්ථායී සහ පුරෝකතනය කළ හැකි මට්ටමේ උද්ධමනය මඟින් නාමික පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගන්නා අතර, එය ආයෝජනයට සහ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහාය වෙයි. මේ සඳහා රජය විසින් නෛතික සහ මෙහෙයුම් වෙනස්කම් අවශ්‍ය පරිදි ක‍්‍රියාවට නංවනු ඇත.

වෙළඳපොළ අනුව විනිමය අනුපාතික තීරණය කිරීමට අපි ඉඩ හරින්නෙමු. මෙමගින් ආර්ථිකයේ නිපදවනු ලබන සහ අලෙවි කරනු ලබන සියලූ භාණ්ඩ හා සේවා සඳහා පිරිවැය පිළිබිඹු කරන මිල ගණන් නියම කිරීමට හැකි වන අතර, ගෝලීය ආර්ථිකය තුළ ලාංකික අපනයනවල තරගකාරීත්වය ශක්තිමත් කරනු ඇත. වඩා නම්‍යශීලී විනිමය අනුපාතික විදේශීය සංචිත වර්ධනය කිරීමට සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමට ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීම උපකාරී වනු ඇත.