(හර්ෂණ තුෂාර සිල්වා)

මෙරට 21 වැනි මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා මෙරට ඉතිහාසයේ 71 වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ධුරකාලයේ දී ඉදිරිපත් කෙරෙන සිව්වැනි අයවැය මෙයයි. වසර 2015 ජනවාරි 8 වැනිදා මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්ව පැවැති දින 100 ආණ්ඩුව යටතේ අතුරුවැයක් ඉදිරිපත් කරන ලදි. එම අයවැය ද ඇතුළත්ව එම වසරේ අගෝස්තු මාසයේදී බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉදිරිපත් කරන සිව්වැනි අයවැය මෙයයි.

‘නීල හරිත අයවැය සහ ව්‍යවසාය ශ්‍රී ලංකා  “එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා” යන තේමාව යටතේ මුදල් අමාත්‍යවරයා මෙම අයවැය ඉදිරිපත් කරන ලද අතර එහිදි ලිහිල්කරණය වේගවත් කිරීම, නීල හරිත ආර්ථිකය, නීල ආර්ථිකය, තිරසර කෘෂි හා ධීවර ව්‍යවසාය දිරි ගැන්වීම, දේශීය ව්‍යවසාය, සංචාරක කර්මාන්තය, සෘජු විදෙස් ආයෝජන හා තරුණ ව්‍යවසායන් දිරිපත් කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන සමාජ යටිතල පහසුකම් නීති ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම, උරුමය හා සංස්කෘතිය, රාජ්‍ය අංශය, සංහිඳිය, ජීවන වියදම සහාය, ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද, හා ආදායම් පරිපාලනය යන ප‍්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

එම අරමුණු එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ, රාජ්‍ය පෞද්ගලික හවුලකාරීත්වය හා ආර්ථීක ලිහිල් කිරීම යන කරුණු ති‍්‍රත්වයට ගොනු කළ හැකිය. සංහිඳියාව හා සංවර්ධනය යන ප‍්‍රධාන කරුණු දෙක පදනම් කරගත් අයවැයක් ඉදිරිපත් කරන බව වත්මන් ආණ්ඩුවේ දෙවැනි මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට පෙර අවස්ථාවකදී පැවැසීය. 

මෙම අයවැය බොහෝවිට මෝස්තර නිර්මාණකරුවකු ඉදිරිපත් කරන පළමු අයවැය වනු ඇතැයි ද ඔහු එහිදි කීවේය.

රොයිටර් පුවත් සේවයේ ‘පුද්ගල වාර්තාවට’ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශාස්ත‍්‍ර විශ්ව විද්‍යාලයට (යුනිවසිටි ඔෆ් ආට්ස් ද ලන්ඩන්) සම්බන්ධිත තෘතීය අධ්‍යාපන පාසලක් වන ‘සෙන්ට‍්‍රල් සෙන්ට් මාර්ටින්ස්’ වෙතින් විලාසිතා සහ ඇඟළුම් යන විෂය යටතේ උපාධියක් ලබාගෙන තිබේ. රොයිටර් වාර්තාවට අනුව ලාංකීය දේශපාලනයේ රජුන් තනන්නා ලෙසින් ද අමාත්‍ය මංගල සමරවීර මහතා හඳුන්වා දී තිබේ.

මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දුන් බොහෝමයක් පොරොන්දු තවමත් ඉටු කර නැති මොහොතකය.

වත්මන් ආණ්ඩුවේ තෙවැනි අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ‘වෙරිටේ රිසර්ච්’ පර්යේෂණ ආයතනය පසුගිය වසරේ අයවැයෙන් ලබාදුන් පොරොන්දු හා ඒවායෙන් කොතරම් ප‍්‍රමාණයක් ඉටු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් පසුගියදා අනාවරණය කරන ලදි.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය වසරේ නොවැම්බර් 9 වැනිදා මෙරට 70 වැනි අයවැය ඉදිරිපත් කරමින් රාජ්‍ය ආයතන 48ක් ආවරණය වන අයුරින් අයවැය පොරොන්දු 158 ක් ලබා දී තිබෙන අතර එහි සමස්ත වියදම රුපියල් මිලියන 139,905ක් වී තිබේ. මෙවර අයවැයෙන් ලබා දී ඇති වියදම් එසේත් නැතිනම් ප‍්‍රතිපාදන වෙන් කරන ලද පොරොන්දු සංඛ්‍යාව 193 කි. පසුගිය වසරේදී දුන් අයවැය පොරොන්දුවලින් ඉටුකිරීම සම්බන්ධයෙන් සතුටුදායක මට්ටමක ඇත්තේ සමස්ත පොරොන්දු වලින් 3 ක් යැයි වෙරිටේ රිසච් ආයතනය සඳහන් කරයි.

‘‘අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට’’ ^http://www.budgetpromises.org& යන වෙබ් අඩවිය පසුගිය අයවැය ඉදිරිපත් කරන ලද දිනයේ සිට මේ වසරේ ජූලි මස 30 වැනිදා දක්වා කාලය සැලකිල්ලට ගනිමින් වෙරිටේ රිසච් ආයතනය අදාළ අධ්‍යයනය කර තිබේ.

අධ්‍යයනයට අනුව අයවැය පොරොන්දු වලින් 51 ක ප‍්‍රගතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම අදාළ රාජ්‍ය ආයතන ප‍්‍රතික්ෂේප කර ඇතැයි පෙන්වාදෙන වෙරිටේ රිසච් ආයතනය ජූලි 30 වැනිදා වනවිට ප‍්‍රකාශිත තොරතුරු අනුව අයවැය පොරොන්දු වලින් 14ක් කඩවුණු පොරොන්දු බවත් සමස්ත පොරොන්දු වලින් 32 ක ප‍්‍රගතිය මන්දගාමී බවත් පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේදී අඛණ්ඩව දෙවැනි වසරටත් රාජ්‍ය ආදායම වැඩි විය. වසර 2015 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.3 ක් වූ රාජ්‍ය ආදායම 14.4 ක් දක්වා වැඩි විය. නාමික අගයවලට අනුව 2015 වසරේදී රුපියල් බිලියන 1,454.9 ක් වූ රාජ්‍ය ආදායම 2016 වසරේදී 15.9 කින්, එනම් රුපියල් බිලියන 1,686.1 දක්වා වැඩි විය. ලබන වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15 ක් දක්වා වැඩි කිරීමත් 2020 වනවිට එය 16.5 දක්වා වැඩි කර ගැනීමත් ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබේ.

මෙරට ආර්ථිකය හමුවේ තිබෙන ප‍්‍රමුඛතම ආර්ථික අර්බුදවලින් එකක් වනුයේ අයවැය හිඟයයි. වත්මන් ආණ්ඩුවේ පළමු අයවැයට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ආර්ථික සැලස්ම ඉදිරිපත් කරමින් රටේ අයවැය හිඟය වසර 2020 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5 ක් ගෙන එන බව පැවැසීය. ඊට දෙවසරකට පසුව නැවත පාර්ලිමේන්තුවේ දී ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරමින් ඒ බව නැවත වරක් තහවුරු කළේය.

පසුගිය වසරේදී අඛණ්ඩව දෙවැනි වරටත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් විය. 2016 වසරේදී අයවැය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 5.4 ක් වූ අතර ලබන වසරේදී එය 4.6 කට අඩු අගයකට ගෙන ඒමට ආණ්ඩුව අපේක්ෂා කරයි.

එමෙන්ම එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3 ක අගයකට ගෙන ඒමට තම පළමු අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් සිටින මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටියි. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු අගයක පවත්වාගෙන යෑම ජාත්‍යන්තර ණය අරමුදලේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදල ලබාගැනීමේ කොන්දේසියක් ද වේ. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.1 ක් දක්වා අඩුවනු ඇතැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම මධ්‍යකාලීන වාර්තාව ප‍්‍රකාශයට පත් කරමින් ලෝක බැංකුව ඉකුත් දා නිවේදනය කළේය.

මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය වේගය 4.6 ක් වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ද මේ වසරේදී ආර්ථිකය 4 ත් 4.5 ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි සඳහන් කරන අතර ආසියානු සංවර්ධන බැංකුව ‘ආසියානු සංවර්ධන දැක්ම 2017’ වාර්තාව ඉදිරිපත් කරමින් ලබන වසරේදී මෙරට ආර්ථිකය 5.0කින් වර්ධනය වනු ඇතැයි සඳහන් කළේය. ඒ අයුරින් අයවැය ඉදිරිපත් කරමින් ලබන වසරේදී 5 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නේ යැයි ද සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියන 5ක් ආකර්ෂණය කිරීමටත් අපනයන දෙගුණ කරමින් ඩොලර් බිලියන 2-0ක් උපයා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා කීය.

පසුගිය නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේ දී තවත් ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය ණය කළමනාරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීය. පසුගිය වසර කිහිපයේදී ම මෙරට රාජ්‍ය ආදායම් වලින් 90 කට වැඩි ප‍්‍රමාණයක් වියදම් කිරීමට වූයේ ණය සේවා පිරිවැයවලටය.

මෙවර අයවැයේදී ආර්ථික තවදුරටත් නිදහස් කිරීම, ප‍්‍රතිසංස්කරණ, පෞද්ගලික අංශය සවිබල ගැන්වීම, තරුණයන් හා ව්‍යවසාය කෙරෙහි අවධානය යොමු කිරීම, අපනයන හා සෘජු විදෙස් ආයෝජන වැඩි කිරීම, ස්තී‍්‍ර පුරුෂ සවිබල ගැන්වීම, අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, සමාජ ආරක්ෂණ ජාල, සමාජ යටිතල පහසුකම්, හරිත හා නීල ආර්ථිකය මෙන්ම සංහිඳියාව හා ආදායම් වැඩි කිරීම යන කරුණු සම්බන්ධයෙන් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් යොමු කරනු ඇතැයි පැවසේ.

මුදල් අමාත්‍යවරයා අයැවය ඉදිරිපත් කරමින් මෙවර තමන් ඉදිරිපත් කරන අයවැයේ තේමාව ‘නීල හරිත අයවැය : ශ්‍රී ලංකා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කර තිබිණි. එහි සමුද්‍ර ආශි‍්‍රත පූර්ණ ආර්ථික විභවතා එකතු කර සමස්ත වර්ධන ක‍්‍රමෝපාය මත නීල ආර්ථිකයක් ගොඩනගන්නේ යැයි ද පරිසරාත්මක වශයෙන් තිරසර ක‍්‍රමෝපාය මත පදනම් ‘හරිත’ ක‍්‍රියාකාරකම් සමස්ත වර්ධන ක‍්‍රමෝපයට ඇතුළත් වන්නේ යැයි ද මුදල් අමාත්‍යවරයා කීය.

අතීතයේදී ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන් ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ යළි ප‍්‍රබෝධමත් කරන්නේ යැයි ද මුදල් අමාත්‍යවරයා කීය.

රටේ ආර්ථිකය හමුවේ ණය අර්බුදයක් අති විශාල රටේ ප‍්‍රධානතම අර්බුද දෙකක් ලෙස ණය අර්බුදයත් අතිවිශාල වෙළෙඳ හිඟයත් පෙන්වා දිය හැකිය. ලබන වසරේදීත් 2019 වසරේදීත් ගෙවීමට ඇති විදේශ ණය නැවත ගෙවීම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ඉක්මවා යැයි. අයවැය හිඟය ඉලක්ක ගත මට්ටමට ගෙන ඒම වත්මන් ආණ්ඩුවේ තිබෙන ප‍්‍රධානතම අභියෝගයයි. වසර 2020 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5 ක අගයක පවත්වා ගැනීමට මෙම ආණ්ඩුවේ ප‍්‍රධානතම අරමුණයි. මේ වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2 ක් අගයක් ගනු ඇතැයි ලබන වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8 ක් වනු ඇතැයි අයවැය වාර්තාවේ සඳහන් වේ.

2015 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.6 ක් වූ අයවැය හිඟය පිළිවෙළින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීම ආණ්ඩුව ලද ජයග‍්‍රහණයකි.

කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමත මැතිවරණත් සමඟ ජනපි‍්‍රය තීන්දු තීරණ ගනිමින් වියදම් වැඩි කළහොත් අපේක්ෂිත ඉලක්කවලට ගමන් කිරීම දුෂ්කර වනු ඇත. දේශපාලනමය වශයෙන් ජනපි‍්‍රය තීන්දු තීරණ ආර්ථික වශයෙන් යෝග්‍ය නොවන්නේය.

නිදහස් පසු ගත වී ගෙවී ගිය කාලයේදී වත්මන් ආණ්ඩුව මෙන්ම පැවැති සෑම ආණ්ඩුවක්ම ආර්ථිකමය වශයෙන් හිතකර ප‍්‍රතිපත්ති, තීන්දු තීරණ වෙනුවට ගනු ලැබුබේ දේශපාලනික වශයෙන් ජනපි‍්‍රය තීරණය. එබැවින් මැතිවරණ වසරක් වුවද ලබන වසරේදී රාජ්‍ය වියදම් අඩු කරගනිමින් ආදායම් වැඩි කරමින් වෙළෙඳ හිඟය ඉලක්ක ගත අඩු මට්ටමේ, ඊට අඩු හෝ ආසන්න මට්ටමක හෝ පවත්වා ගැනීම ආණ්ඩුව අත්‍යාවශයෙන්ම කළ යුත්තකි.