ආචාර්ය නිමල් සඳරත්න සන්ඬේ ටයිම්ස් පුවත්පතට සැපයූ ලිපිය
සිංහල පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා

මාසයකටත් වැඩි කාලයක් මුළුල්ලේ පවතින දේශපාලන අර්බුදය ආර්ථිකයට එල්ල වූ දරුණු ප්‍රහාරයකි. 

වත්මන් දේශපාලන තත්ත්වය විසින් මේ වසරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද කරනු ලැබ ඇති අතර ලබන වසරේ ආර්ථික කාර්ය සාධනයට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇත. සාර්ව ආර්ථික තත්ත්ව දුර්වල වීමත් සමඟ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට ද බාධා එල්ල කරනු ඇත. 

ආර්ථිකයට සිදුවන්නේ කුමක්දැයි පිළිබඳව දැනටමත් විශාල බියක් නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. දේශපාලනික අවුල්ජාලය මේ වසරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට බාධා එල්ල කර ඇත. පැති කිහිපයකින්ම බාධා එල්ල වී තිබේ. වත්මන් දේශපාලන අර්බුදය නිසා සංචාරක කර්මාන්තයට සහ විදෙස් ආයෝජනවලට අහිතකර ලෙස බලපෑම් එල්ල වී තිබේ. රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම නිෂ්පාදන පිරිවැය ඉහළ නංවන අතර ආයෝජනවල පිරිවැය ද ඉහළ නංවනු ඇත.

දේශපාලන අර්බුදය ගෙවුම් ශේෂයට අහිතකර ලෙස බලපෑම් එල්ල කර තිබේ. විදේශ මූල්‍ය දුර්වල කරන අතර ලබන වසරේ ණය නැවත ගෙවීම් අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්කරනු ඇත. අහිතකර ගෙවුම් ශේෂය, ප්‍රාග්ධන පිටතට ගලායෑම් සහ විදේශවලින් ණය ලැබීම සහ මූල්‍ය සහාය නොලැබී යෑම හෝ ප්‍රමාද වීම හෝ නිසා විදෙස් සංචිත අඩුවනු ඇත. 

ණය නැවත ගෙවීම්

බොහෝ කාලයක් මුළුල්ලේ පවතින දේශපාලන අර්බුදය විදෙස් විශ්වාසය පළුදු කරන අතර විදෙස් ණය නැවත ගෙවීම් වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්කරනු ඇත. කොටස් වෙළෙඳපොළෙන් ප්‍රාග්ධනය පිටතට ගලායෑම්, සංචාරක කර්මාන්තයේ පහත වැටීම, අහිතකර ජාත්‍යන්තර අවදානම් ශ්‍රේණිගත කිරීම්, ඉහළ ස්වෛරීත්ව බැඳුම්කර අනුපාත සහ විදේශ ආධාර ලැබීම් සහ ජාත්‍යන්තර ණය අරමුදලේ ණය වාරිකය ලැබීම ප්‍රමාදවීම ණය ගෙවීම් දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යයක් බවට පත්කරනු ඇත. විදේශ ණය ගැනීමේ පිරිවැය ද ඉහළ යනු ඇත. මෙම සාධක සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහ දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට බාධා එල්ල කරනු ඇත. 

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම

පාර්ලිමේන්තුව විසුරුවා හරින කාලය වනවිට ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයේ ගමන් කරමින් තිබිණි. එහෙත් නව අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමත්, ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රට ව්‍යවස්ථා අර්බුදයකටත් දේශපාලන ව්‍යාකූලත්වයකටත් පත්විය. එම තත්ත්වය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට කිසිසේත් හිතකර නොවේ. ආර්ථික වර්ධනය සියයට 3.1ක අඩු අගයේ සිට සියයට 4ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගනු ඇතැයි බලාපොරොත්තු තබා තිබිණි. 

මේ වසරේ මුල් කාර්තුවේදී ආර්ථිකය සියයට 3.4කින් වර්ධනය වූ අතර දෙවැනි කාර්තුවේදී සියයට 3.7කින් වර්ධනය විය. අපනයන පුළුල් වීම, සංචාරක කර්මාන්තයේ නැගී සිටීම, ආහාර බෝගවල වර්ධනය සහ ව්‍යාපාර පරිසරයේ වර්ධනය යනාදී කරුණු නිසා මේ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය ඉහළ වේගයකින් වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කර තිබිණි. 

කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත 

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය හොඳ කාර්යසාධනයක් පෙන්නුම් නොකළ ද ආහාර බෝග කෘෂිකර්මාන්තයේ වර්ධනයක් පෙනෙන්ට තිබිණි. වසරේ දෙවැනි අර්ධයේදී තේ සහ රබර් නිෂ්පාදනය වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබිණි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය පහළ වැටී තිබිණි. එහෙත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක්  පෙන්නුම් කරන ලදි. වත්මන් තත්ත්වය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇත. 

සංචාරක කර්මාන්තය

සංචාරක සහ අපනයන කර්මාන්ත යනු ශක්තිමත් ආර්ථික වර්ධනයක වර්ධක සාධකය. දේශපාලන අර්බුදයෙන් බලපෑම් එල්ල වූයේ පසුගිය මාස දෙකේදී පමණි. එම නිසා වසරේ පළමු මාස දහයේදී සංචාරක කර්මාන්තයෙන් වාර්තා වූ  11 ්‍රක වර්ධනය, ආර්ථික වර්ධනයට දායකත්වය සපයනු ඇත. කෙසේ නමුත් සංචාරක කර්මාන්තයේ , සංචාරක සමයක ඇති වූ දේශපාලන අර්බුදය කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ඇත. එපමණක්  නොව තවදුරටත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් වර්ධනය වනු ඇතැයි තැබූ බලාපොරොත්තු සුන් වී යනු ඇත. එපමණක් නොව වත්මන් දේශපාලන අර්බුදය ලබන වසරේදී කර්මාන්තයෙන් ලැබෙන ආදායම්වලට සහ ආර්ථිකයට එල්ල  වූ බලවත් පහරකි. සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම් ගෙවුම් ශේෂයට ඉතා වැදගත් සහ සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබියදී ඇති වූ මෙම දේශපාලන තත්ත්වය රටේ විදේශ මූල්‍යයට එල්ල වූ බලවත් පහරකි. 

දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික සංවර්ධනයට දීර්ඝකාලීනව සිදුවන බලපෑම් ඉතා දරුණුය. එයින් ප්‍රමුඛ බලපෑමක් වනුයේ විදෙස් ආයෝජන අහිමි වීමය. රටේ අපනයන කළ හැකි නිෂ්පාදන ඉහළ නැංවීම උදෙසා ප්‍රමාණවත් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අරගලයකට රට මුහුණ දී සිටී. රට ලැබෙන විදෙස් ආයෝජන වැඩි වන්නේ නම් තාක්ෂණික වෙනස්කම්වලින් රටේ තාක්ෂණික ධාරිතාව ද ඉහළ යා හැකිය. 

විදෙස් ආයෝජන

දේශපාලන අර්බුදය ඇතිවූයේ විදෙස් ආයෝජන වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවකදීය. වත්මන් දේශපාලන අර්බුදය සහ අවිනිශ්චිත තත්ත්වය විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු කරන අතර මෙරට කෙරෙහි තබා තිබූ කැමැත්ත අකැමැත්තක් බවට හැරවෙනු ඇත. වත්මන් දේශපාලන අර්බුදය නිසා ආයෝජකයන් ස්ථාවර, නිශ්චිත සහ හොඳින් පැහැදිලි කරන ලද ආර්ථික ප්‍රතිපත්ති සහිත, විනයගරුක ශ්‍රමික පිරිස් සිටින, නම්‍යශීලි කම්කරු සහ ශ්‍රමික රෙගුලාසි සහ සාමකාමී තත්ත්වයක් තිබෙන රටවල ආයෝජනය කිරීමේ අවධානය යොමු කරනු ඇත. 

එම අවාසිය නිසා රටේ සංවර්ධනයේ වර්ධනය පහත වැටෙනු ඇති අතර අපේක්ෂා කළ සියයට 4ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගය ද තවදුරටත් පහළ වැටෙනු ඇත. පහළ ආර්ථික වර්ධනයක් ඉහළ ආදායම් මට්ටමකට හෝ රටේ ආර්ථික සහ සමාජයීය ප්‍රශ්න විසඳා ගත හැකි මට්ටමකට ගමන් කිරීමට ප්‍රමාණවත් වන්නේ නැත.  

ජාත්‍යන්තර ප්‍රතිවිපාක

දේශපාලන අර්බුදය විසඳා නොගතහොත් ජාත්‍යන්තර ප්‍රතිවිපාක ආර්ථිකයට දරුණු ලෙස බලපෑම් එල්ල කරනු ඇත. වෙළෙඳ සහනාධාර ඉවත් කරගැනීම, විදේශීය සහයෝගය නොලැබී යෑම හෝ ප්‍රමාද වීම, විදෙස් ණය පහසුකම් නොලැබී යෑම හෝ ප්‍රමාද වීම යන තත්ත්වය ඇතිවිය හැකි අතර එම නිසා රටේ විදේශ මූල්‍ය උවදුරේ හෙළනු ඇත. 

විදේශ සහාය

තමන් සහයෝගය ලබා නොදෙන බවට ඇතැම් රටවල් දැනටමත් අනතුරු අඟවා ඇත. ඇතැම් රටවල් සහයෝගය ලබාදීම ප්‍රමාද කර ඇත. වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබූ මිලියන ගණනක ආධාර වැඩසටහන ප්‍රමාදවෙමින් තිබේ. ‘ලයිට් රේල්’ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 මුදල සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ සෞඛය ක්ෂේත්‍රවල වර්ධනය සඳහා ඇමෙරිකාවෙන් ලැබීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල ප්‍රමාදවෙමින් 

සාර්ව ආර්ථික මූලධර්ම

දුර්වල වී වෙමින් තිබෙන සාර්ව ආර්ථික මූලධර්ම රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට එල්ල කරන්නේ බලවත් පහරකි. ආර්ථික සංවර්ධනයට එල්ල වන ප්‍රබලතම පහරක් වනුයේ අයවැය ඒකග්‍රතා ක්‍රියාවලියේ අනෙක් පස හැරීමයි. වත්මන් දේශපාලන අර්බුදය පසුගිය දෙවසරක කාලයේදී අත්පත් කරගන්නා ලද අයවැය ඒකග්‍රතාව සහ ආර්ථික සංවර්ධනය සහ වර්ධනය අහිතකර බලපෑම් කරමින් ඊට සෝදාපාළුවකට ලක් කර ඇත. 

අයවැය හිඟය මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.3ක අගයක් දක්වාත් ලබන වසරේදී සියයට 4.8ක අගයක් දක්වා අඩු කරගැනීමටත් බලාපොරොත්තු තබා තිබිණි. එහෙත් වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම ඉලක්කය සපුරාගැනීමට නොහැකිවනු ඇත. මේ අනුව වසර 2020 දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට ගෙනඒම සිහිනයක් පමණි. වත්මන් තත්ත්වය තුළ ආදායම් වැඩි කරමින් වියදම් සීමා කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු නොකරනු ඇත.

මේ වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.8ක ඉලක්කය සපුරා ගැනීමේ මාර්ගයට රටේ ආර්ථිකය පිවිස තිබිණි. පසුගිය වසරේ අඩක් ගෙවී යද්දී වාර්තා වූ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක් වූ අතර එය සැසඳීමේදී මේ වසරේ මැද භාගය වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.4ක් දක්වා අඩු වී තිබිණි. කෙමේ නමුත් වසරේ දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විවිධ වැඩසටහන් නිසා වියදම් වැඩිවෙන හෙයින් දේශපාලන අර්බුදය නොමැතිව වුවද අයවැය හිඟය වැඩිවීමට ඉඩ තිබිණි.

ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වය රජයේ වියදම් වැඩි කර ඇති අතර අනෙක් අතට ආදායම් අඩු කර ඇත. එපමණක් නොව ඡන්ද දායකයන් ආකර්ෂණය කරගැනීමට ජනප්‍රියත්වය වැඩි කිරීමටත් ගන්නා පියවර නිසා ආදායම් අඩු වී වියදම් වැඩි වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ.   

අවසාන වශයෙන්

වත්මන් දේශපාලන අර්බුදය සහ අවිනිශ්චිත තත්ත්වය ආකාර රැසකින් ආර්ථිකයට හිතකර නොවේ. රටේ ප්‍රධානතම සහ වැදගත්ම විදෙස් විනිමය ආදායම් උපයන අංශයක් වූ සංචාරක කර්මාන්තය අවදානමට ලක්ව ඇත. විදෙස් ආයෝජන, විදෙස් ණය, විදෙස් සහයෝගය සහ මූල්‍ය ආධාර, ප්‍රාග්ධන පිටතට ගලායෑම් සහ අපනයන යන අංශවලට ද අහිතකර බලපෑම් එල්ල වී ඇත. 
ගෝලීය මූල්‍ය ප්‍රවණතා සහ ඉන්ධන මිල ගණන් ඉහළ යන තත්ත්වය නිසා රටේ ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දෙමින් තිබූ තත්ත්වයකදී ඇති වූ මෙම දේශපාලන අර්බුදය රටේ ආර්ථික අර්බුද තවදුරටත් උග්‍ර කරනු ඇත. ලබන වසරේදීද ආර්ථිකයට එල්ල වන බලපෑම් සුළුපටු නොවන ුතර ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද අතිවිශාලය. ආර්ථිකය ස්ථාවර කිරීමේදී ලබාගෙන තිබූ ජයග්‍රහණයක් වූයේ අයවැය ඒකග්‍රතාවයයි. එහෙත් අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් අයවැය ඒකග්‍රතාවය ද අර්බුදයට ලක්වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් නශ්චිතව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් කඩිනමින් පත් නොකළහොත් ආර්ථිකයට සිදුවන බලපෑම් අතිවිශාලය.