IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික කටයුතුවලට සහාය දීමේ අරමුණින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (16) හදිසි රැස්වීමක් පවත්වමින් එම තීරණය ගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.25 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.25 දක්වාත් පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනුවලට අදාළ දෛනික පොළී අනුපාතිකය වන අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රතිවිකුණුම් ගනුදෙනුවලට අදාළ වන දෛනික පොළී අනුපාතිකයයි.

ඊට අමතරව බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4 දක්වා අඩු කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ.

2019 වසරේ අවසාන සමයේදී අඩු අගයක පැවැති මෙරට ආර්ථික වර්ධන වේගය රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසාත් ජනාධිපතිවරණයෙන් පසු ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යෑම නිසාත් යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තේ යැයි ද මහ බැංකුව සඳහන් කරයි.

කෙසේ නමුත් ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය දේශීය ආර්ථික කටයුතු කෙරෙහි අඛණ්ඩව බලපෑම් කරනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මුල්‍ය වළෙඳපොළ තුළ කලබලකාරී තත්ත්ව ඇති කරන සමපේක්ෂණ (පසුව ඉහළ මිලකට අලෙවි කර ලාභ ලැබීමේ අරමුණින් දැන් වැඩි වැඩියෙන් මිලදී ගැනීමේ) ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වළකින්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව ද එම බැංකුව සඳහන් කරයි.

පවතින අසාමාන්‍ය තත්ත්වවලට සාර්ථකව මුහුණදීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් සුමටව රැස් කිරීමට මහ බැංකුව ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එම බැංකුව කියයි.

ගෝලීය හා දේශීය වෙළෙඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති හා නියාමන කටයුතු යනාදී පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ තවත් රටවල් රැසක මහ බැංකු පොලී අනුපාත කපා හැරීමට අද (16) පියවර ගත්තේය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනේදී ආර්ථික කටයුතුවලට සහාය දැක්වීමේ අරමුණින් ඇමෙරිකා මහ බැංකුව සහ අනෙකුත් ගෝලීය බැංකු එම පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා වෙළෙඳපොළ කඩා වැටී ඇති අතර ලෝක ආර්ථිකයේ විශාල කොටසක් අඩපණ වී ඇත.

යුරෝපීය මහ බැංකුව, ජපාන මහ බැංකුව ආදී ලොව මහ බැංකු රැසක් ඒකාබද්ධව මෙම පියවර ගෙන ඇති අතර මීට දශකයකට පෙර ඇති වූ ලෝක මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී ද මහ බැංකු මේ ආකාරයේ එකාබද්ධ පියවර ගත්හ.

නව කොරෝනා වයිරසය නිසා ආයෝජකයන් ද අර්බුදකාරී හා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් කොටස් හා බැඳුම්කර වෙළෙඳපොළවල ද දැඩි පසුබෑමක් දක්නට ලැබේ.

පොළී අනුපාත අඩු කිරීමට මුලින්ම පියවර ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන අතර ප්‍රධාන පොලී අනුපාත බිංදුවක් දක්වා අඩු කිරීමට එම බැංකුව පියවර ගත්තේය.

නවසීලන්ත මහ බැංකුව ද වාර්තාගත ලෙස පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර මේ සතියේ වෙළෙඳපොළ කටයුතු සඳහා ආසියාවේ වෙළෙඳපොළ කටයුතු ඊයේ ආරම්භ කළේය. කෙසේ නමුත් රජයේ, බැංකු සහ වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු නොවිණි.

ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව එරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රහස්පතින්දා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

මීට අමතරව චීන මහ බැංකුව සහ තවත් බැංකු රැසක් මේ ආකාරයේ පියවර ගෙන ඇත.

මේ අතර මේ වසර ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර් 71.75ක් ලෙස දැක්වුණු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා අඩු වී තිබේ.



අදහස් (2)

ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට

කසුන් Monday, 16 March 2020 10:53 AM

ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට දැමීමෙන් සාමාන්‍යයෙන් කියන්නේ ඉතුරු කිරීම් අඩුකර (පොලිය අඩු නිසා) වැඩිපුර වියදම් කරන්න කියලා. නමුත් ලංකාව රට ඇතුලේ මුකුත් හදන්නේ නැති සහ පිටරටින් ගෙනෙන නිසා වියදම් සියල්ලම අන්තිමට යන්නේ ගෙවුම් ශේෂයේ හිඟයක් ලෙස හෝ විදෙස් ණය ලෙස... අනික් අතට සංවර්ධිත රටවල් අපේ වගේ රටවල්වල කෙටිකාලීන ආයෝජන මෙම තත්වයත් එක්ක ඉවත් කරගන්න කාලයක්... අපි ඒක කොටස් වෙළඳපලේම දැක්කනේ... විදේශ ශ්‍රමිකයින්ට ප්‍රශ්න නිසා ඔවුන්ගේ ආදායමත් අපිට නෑ. ඒ හින්දා මම කලින් කිව්ව තත්වේ වැඩිවෙනවා. බොරතෙල් අඩුවීම විතරයි අපිට මේ වෙලාවේ තියෙන එකම වාසිය. ඒකත් කොච්චර කාලෙකටද කියන්න බෑ.. මොකද චීනය වගේ රටවල් නැවත නිෂ්පාදන පටන් ගන්න නිසා... කොහොම වුණත් ආර්ථික කටයුතුවලට සහාය දීම නම් අරමුණ වැඩිදෙයක් මුල්‍ය අංශයෙන් කරන්න බෑ රාජ්‍ය අංශයෙන් මිසක්...

:       1       16

කසුන් Tuesday, 17 March 2020 03:26 AM

කොහොම නමුත් මෙම අලුත් තත්වය අප මෙතෙක් අනුගමනය කල ප්‍රතිපත්ති වල වැරදි නිවැරදි භාවය උරගා බැලෙන සන්දිස්ථානයක් වේවි. හැම විටම තවත් රටකින් එන ණය මුදලක් දෙස බලමින් ප්‍රතිපත්ති සකස් සකස්කරනවා වෙනුවට තම රටේ සම්පත් වලින් කළහැකි දේ පිලිබඳ කතිකාවක් සකස් වේවි. මොකද තවත් රටකට වෙනත් රටකට උදව් කිරීමේ සීමා මේ හරහා ප්‍රශ්න කෙරෙන නිසා.

:       0       5

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 61 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 54 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2052 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 661 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site